සියලු දරුවන්ට සමාන අවස්ථා හිමිවන අධ්‍යාපන ක්‍රමයක් ගොඩනැගීම ප්‍රමුඛ අරමුණක් - අගමැතිනිය

Sri Lanka Harini Amarasuriya Latest Headlines Puwath.lk Colombo politics heat up
By R.rishma Jul 08, 2026 02:31 PM GMT
Report

සමාජ සාධාරණත්වය සහ සමානාත්මතාව මත පදනම්ව සියලු දරුවන්ට ඉදිරියට යා හැකි අධ්‍යාපන ක්‍රමයක් ස්ථාපිත කිරීම රජයේ අධ්‍යාපන ප්‍රතිපත්තියේ ප්‍රධාන වගකීමක් බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.

ශ්‍රී ලංකාවේ අන්තර්කරණ අධ්‍යාපනය (Inclusive Education) පිළිබඳ පර්යේෂණ සොයාගැනීම් ප්‍රචලිත කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය සහ UNICEF සංවිධානය එක්ව කොළඹදී සංවිධානය කළ වැඩමුළුවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.

අන්තර්කරණ අධ්‍යාපනය යනු විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සඳහා පමණක් සීමා වූ ක්‍රමවේදයක් නොවන බවත්, ආර්ථික, සමාජීය, මානසික සෞඛ්‍ය හෝ වෙනත් හේතු මත අධ්‍යාපනයෙන් බැහැර වීමට අවදානමක් ඇති සියලු දරුවන්ට අධ්‍යාපන අවස්ථා සුරක්ෂිත කිරීම එහි ප්‍රධාන අරමුණ බවත් අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නාය.

නිදහස් අධ්‍යාපනය සමාජ සාධාරණත්වය සහ සමානාත්මතාව තහවුරු කිරීම සඳහා ගොඩනැගුණු ක්‍රමයක් බව සඳහන් කළ අග්‍රාමාත්‍යවරිය, තරගකාරීත්වය මත පදනම් වූ අධ්‍යාපන ක්‍රමයක් හේතුවෙන් ඇතැම් දරුවන් බැහැර වීම පිළිබඳව නැවත අවධානය යොමු කළ යුතු බවද පැවසුවාය.

සියලු දරුවන්ට සම වරප්‍රසාද සහිත අධ්‍යාපනයක් ලබාදීම අධ්‍යාපන පද්ධතියේ මූලික වගකීමක් ලෙස සැලකිය යුතු බවත්, ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික සහ ආයතනික පහසුකම් සංවර්ධනය කළ යුතු බවත් ඇය අවධාරණය කළාය.

මෙම වැඩමුළුව හරහා අන්තර්කරණ අධ්‍යාපන ක්‍රමය පිළිබඳ පර්යේෂණ දැනුම සහ අත්දැකීම් අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෘත්තිකයන් වෙත ලබාදීම මෙන්ම, අදාළ රාජ්‍ය ආයතන අතර ඒකාබද්ධ ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීමේ අවශ්‍යතාව ද අවධාරණය කෙරිණි.

මේ අතර, අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා සඳහන් කළේ, සෑම දරුවෙකුටම සමාන අධ්‍යාපන අවස්ථා ලබාදීම සඳහා යටිතල පහසුකම්, මානව සම්පත් සංවර්ධනය සහ සියලු දරුවන්ට ප්‍රවේශ විය හැකි පාසල් පද්ධතියක් ගොඩනැගීම අත්‍යවශ්‍ය බවයි.

දත්ත, පර්යේෂණ සාධක සහ විද්‍යාත්මක පදනම් මත අන්තර්කරණ අධ්‍යාපනයේ ඉදිරි සැලසුම් සකස් කළ යුතු බවද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.