අස්වැසුම ප්‍රතිලාභීන් සහනාධාරයෙන් මුදාගෙන ආර්ථිකයට එක් කරන සැලැස්මක්
මෙම වසර තුළ අස්වැසුම ප්‍රතිලාභී පවුල් ඵලදායී ආර්ථික ක්‍රියාවලියකට යොමුකර ඔවුන් සහනාධාර මත යැපීමෙන් මුදවා ගැනීමට සැලසුම්කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශයට අදාළව 2026 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය සහ 2027 වසරේ අයවැය යෝජනා පිළිබඳ පූර්ව අයවැය සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (07) පස්වරුවේ පැවැත්විණි.
මෙම සාකච්ඡාවට එක් වෙමින් ජනාධිපතිවරා පැවසූවේ, මේ වන විට පවුල් 16,000ක් සඳහා මනෝ-සමාජීය සහ ආර්ථික සහාය ලබාදීමේ වැඩසටහන් ආරම්භ කර ඇති බවයි.
තවද, අඩු ආදායම්ලාභීන් හුදෙක් සහනාධාර මතම රඳවා නොගෙන, අර්ධ කාලීන ශ්‍රම දායකත්වයන් සඳහා ඔවුන් යොමු කිරීම වැදගත් බවත්, ඒ වෙනුවෙන් වැවිලි ක්ෂේත්‍රය වැනි අංශයන්හි පවතින විභවතාව පිළිබඳවත් පෙන්වා දෙන ලදී.
මේ අතර, දුගී බව තුරන් කිරීමට පවුල් ඒකක කේන්ද්‍ර කරගත් ඒකාබද්ධ වැඩපිළිවෙළක් අවශ්‍ය බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ඒ අනුව විවිධ ආයතන මගින් විසිරී පවතින ප්‍රතිපාදන ඒකාබද්ධ කර, නිෂ්චිතව හඳුනාගත් පවුල් ඒකක ඉලක්ක කරගනිමින් දුගී බව තුරන් කිරීමේ විද්‍යාත්මක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවයි.
සමාජ සුබසාධන ක්‍රමවේදයන් යටතේ ප්‍රතිලාභ ලබන සෑම පවුල් ඒකකයක්ම සැබෑ ලෙසම සවිබල ගැන්වෙන්නේද යන්න මැනිය හැකි විධිමත් මිණුම් ක්‍රමවේදයක් සකස් කර ගනිමින්, ඒ මත පදනම්ව ශක්තිමත් සමාජ ආරක්ෂණ ජාලයක් ගොඩනැගීම රජයේ අපේක්ෂාව බව ජනාධිපතිතුමා මෙහිදී ප්‍රකාශ කළේය.
මෙහිදී ප්‍රජා සංවර්ධනය අරමුණු කරගත් ප්‍රජා ශක්ති වැඩසටහන සහ අනෙකුත් ග්‍රාමීය සංවර්ධන කටයුතු සඳහා වෙන්කර ඇති ප්‍රතිපාදන ප්‍රාදේශීය සභා මට්ටමින් ව්‍යාපෘති සඳහා බෙදීගොස් ඇති ආකාරය සහ එහි වත්මන් ප්‍රගතිය පිළිබඳව ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය යොමු වී තිබේ.
එසේම මෙහිදී ප්‍රජා සංවර්ධනය වෙනුවෙන් අපනයන විභවතාව සහිත ව්‍යවසායකයන් දිරිමත් කිරීම සඳහා හඳුනාගත් ව්‍යාපෘති වෙනුවෙන් අමාත්‍යාංශය මඟින් යෝජිත ණය සහ ආධාර ලබාදීමේ වැඩපිළිවෙළ පිළිබඳ අමාත්‍යාංශ නිලධාරීන් විසින් ජනාධිපතිවරයා දැනුවත් කරන ලදී.
එසේම කිසිදු ශ්‍රම දායකත්වයක් ලබාදිය නොහැකි ආබාධිත, වැඩිහිටි හෝ නිදන්ගත රෝගීන් සහිත පවුල් රජය විසින් පූර්ණ ලෙස රැක බලා ගන්නා අතර, ශ්‍රම ශක්තිය සහිත ඉතිරි පිරිස සහනාධාර ලබා ගන්නා අතරතුර රටේ නිෂ්පාදන ක්‍රියාවලියට ඔවුන්ගෙන් ලබා ගත හැකි දායකත්වය පිළිබඳවද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණ.
තවද එක් එක් අමාත්‍යාංශය වෙන් වෙන්ව මුදල් වැය කරනු වෙනුවට, පවුල් ඒකකයක අවශ්‍යතා නිවැරදිව හඳුනාගත් පවුල් සංවර්ධන සැලැස්මක් සකස් කිරීමේ වැදගත්කම ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.