විදුලි බිල්පත ගැන නිවේදනයක්..!

Sri Lanka Ceylon Electricity Board Sri Lanka Electricity Prices
By Sewvandhi Nov 16, 2023 02:31 AM GMT
Report

ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනය කර තිබෙන්නේ, විදුලි පාරිභෝගිකයන් සඳහා හඳුන්වා දී ඇති විද්‍යුත් බිල්පත් ක්‍රමවේදය ප්‍රදේශ කිහිපයක් සඳහා මේ වන විට ක්‍රියාත්මක කර ඇති බවයි.

දෙහිවල, රත්මලාන, කැලණිය, ශ්‍රී ජයවර්ධනපුර, මාතර සහ අම්බලන්ගොඩ යන ප්‍රදේශවල විදුලි පාරිභෝගිකයන් සඳහා එම ක්‍රමය මේ වන විටත් ක්‍රියාත්මක කර ඇති බවයි, එහි මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත මහතා පැවසුවේ.

ඉදිරියේ දී අනෙකුත් ප්‍රදේශවලට ද මෙය හඳුන්වා දීමට කටයුතු කරන බව ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත මහතා සඳහන් කර ඇත.

එනම්, පාරිභෝගිකයන්ට මාසික විදුලි බිල්පත් ලබා දීමේ E බිල්පත් සේවාවක් මේ වනවිට හඳුන්වා දී තිබෙනවා. ඒ මුද්‍රිත විදුලි බිල්පත් ක්‍රමය නතර කිරීම සඳහා ය.

ඒ අනුව ලංකා විදුලිබල මණ්ඩලය සිය පාරිභෝගිකයින්ගෙන් ඉල්ලීමක් කර සිටින්නේ E බිල්පත් සේවාව සඳහා ලියාපදිංචි වන ලෙසයි. ඒ සඳහා ebil.ceb.lk වෙබ් අඩවිය ඔස්සේ ලියාපදිංචි විය හැකිය.

අදාළ වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ EBILL<හිස්තැනක්>විදුලි ගිණුම් අංකය<හිස්තැනක්>විද්‍යුත් තැපැල් ලිපිනය ලෙස සඳහන් කෙටි පණිවුඩයක් (SMS) 1987 යන අංකයට යොමු කිරීමෙන් ද E බිල්පත් සේවාව සඳහා ලියාපදිංචි විය හැකිය.

එමෙන්ම මෙම සේවාව ඉදිරි මාස කිහිපය ඇතුළත දිවයින පුරා විදුලි පාරිභෝගිකයන් වෙත සැපයීම අරමුණ වේ.