ජනවාරි සිට වැඩි කරන විදුලි බිලේ, එක් එක් ඒකක සඳහා යෝජනා කර ඇති ගාස්තු මෙන්න..

By Sewvandhi Dec 31, 2022 09:37 AM GMT
Report

එළඹෙන ජනවාරි 02 වනදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත විදුලි ගාස්තු සංශෝධනය මගින් විදුලි ඒකකයක් සඳහා අය කරනු ලබන ගාස්තුව සහ ස්ථාවර ගාස්තුව වැඩි කිරීමට යෝජනාකර තිබේ.

මේ අනුව මුල් ඒකක 30 සඳහා දැනට අය කරන රුපියල් 8ක අවම ගාස්තුව රුපියල් 30 දක්වා වැඩි කිරීමට යෝජනා කරනු ඇති බව වාර්තා වෙයි. විදුලිබල මණ්ඩලය විසින් එම විදුලි ගාස්තු සංශෝධනය ඉදිරිපත් කර ඇත.

ඒකක 31 සිට 60 දක්වා දැනට එක් ඒකකයකට රුපියල් 10ක් අය කරන අතර එය රුපියල් 37 දක්වා වැඩි කිරීමටත් 61 සිට 90 දක්වා කාණ්ඩය යටතේ දැනට අය කරන රුපියල් 16 ක ගාස්තුව රුපියල් 42 දක්වා වැඩි කිරීමටත් යෝජිතය.

ඒකක 91 සිට 120 දක්වා කාණ්ඩයට අදාළව එක් ඒකකයට දැනට අය කරන රුපියල් 50ක ගාස්තුව එලෙසම පවත්වාගෙන යාමටත් ඒකක 121 සිට 180 දක්වා කාණ්ඩයටද දැනට අය කරන රුපියල් 50ක ගාස්තුව එලෙසම පවත්වාගැනීමටත් යෝජනා කර තිබේ.

එසේම ඒකක 181ට වැඩි සෑම ඒකකයක් සඳහා රුපියල් 75ක් දැනට අය කරන අතර එම ගාස්තුවද කිසිදු වෙනසක් සිදුකර නොමැත. එසේම මුල් ඒකක 30 සඳහා දැනට අය කරන රුපියල් 120ක ස්ථාවර ගාස්තුව රුපියල් 400 දක්වාත්

ඒකක 31 සිට 60 දක්වා කාණ්ඩයට අය කළ රුපියල් 240ක ස්ථාවර ගාස්තුව රුපියල් 550 දක්වාත් ඒකක 61 සිට 90 දක්වා කාණ්ඩයට අය කෙරෙන රුපියල් 360 සිට 650 දක්වාත් වැඩි කිරීමට යෝජිත වෙයි.

එමෙන්ම ඒකක 91 සිට 120 දක්වා කාණ්ඩයට අය කෙරෙන රුපියල් 960ක ස්ථාවර ගාස්තුව රුපියල් 1,500 දක්වා වැඩි කිරීමටත් ඒකක 121 සිට 180 දක්වා දැනට අයකෙරෙන ස්ථාවර ගාස්තුව ද රුපියල් 960 සිට 1,500 දක්වා වැඩි කිරීමටත් යෝජනා වී තිබේ.

ඒකක 181ට වැඩි විදුලි පරිභෝජනය කරන සෑම පුද්ගලයෙකුගේම ස්ථාවර ගාස්තුව රුපියල් 1,500 සිට 2,000 දක්වා වැඩි කිරීමටත් යෝජනා වී ඇත.




GalleryGallery