යළි විදුලි බිල විශාල ප්‍රමාණයකින් වැඩි කරයි?..

Kanchana Sri Lanka Ceylon Electricity Board Sri Lanka Electricity Prices
By Aruna Sep 06, 2023 01:20 AM GMT
Report

ඉදිරි මාස තුනක කාලයක් සඳහා විදුලිය නිෂ්පාදනය කිරීමට අවශ්‍ය රුපියල් බිලියන පනස්හතරක මුදලක් උපයා ගැනීමට විදුලි ගාස්තු 32% කින් පමණ ඉහළ දැමීමට ලංකා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිෂන් සභාවට යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.

ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී රොහාන් සෙනෙවිරත්න මහතා විසින් මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට පෙරේදා (4) යොමුකළ ලිපියක මේ බව සඳහන් වේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ අදහස වී ඇත්තේ, දැඩි නියඟය හේතුවෙන් ජල විදුලි නිෂ්පාදනය අඩුවීම නිසා මෙගාවොට් 3500 ක විදුලිය නිෂ්පාදනය කිරීම දැඩි අර්බුදයකට ලක්විය හැකි බවයි.

ඒ අනුව, දැනට විදුලි ඒකකයක් සඳහා සාමාන්‍යයෙන් අයකරන රුපියල් 42 ක මුදල රුපියල් 56 දක්වා ඉහළ දැමීමට සිදුවනු ඇතැයි ගණන් බලා තිබේ.

පැය විසිහතර පුරා විදුලි බලය ලබාදීමට ආණ්ඩුව ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන ඇති බැවින් තාප විදුලි බලාගාරවලින් විදුලි බලය ලබාගැනීමටද සිදුවන බව ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කරයි.

විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ජාතික ලේකම් සංජීව ධම්මික මහතා ප්‍රකාශ කළේ, 2022 වසරේ අගෝස්තු සිට මේ දක්වා විදුලි ගාස්තු සංශෝධන තුනක් සිදුකර ඇත.

යෝජිත ගාස්තු ඉහළ දැමීම සිදුකළහොත් වසරක කාලයක් තුළ ගාස්තු 200% කට අධික ප්‍රතිශතයකින් ඉහළ දමා ඇති බවයි.

ඒ කොළඹදී ඊයේ (5) පැවැත්වූ මාධ්‍ය හමුවකදීයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි ඉටු කිරීමේ අරමුණින් ආණ්ඩුව මෙම පියවර ගන්නා බවටද ඔහු චෝදනා කළා.