දහම් අධ්‍යාපනයට විශේෂ ස්ථානයක් - අලුත්ම වැඩ පිළිවෙළක්

Ministry of Education Sri Lanka
By Sewvandhi Aug 31, 2023 05:09 PM GMT
Report

ආගමික හා සංහිඳියාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ, අධ්‍යාත්මික දරු පරපුරක් නිර්මාණය කිරීම සඳහා දහම් අධ්‍යාපනය නගාසිටුවීමට රජය විසින් වැඩපිළිවෙළක් සැලසුම් කර ඇති බවත්, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල දී දහම් අධ්‍යාපනයට විශේෂ ස්ථානයක් හිමි වන බවත්ය.

අද (31) 'ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

 මන්ත්‍රීවරයා එහිදී සඳහන් කළේ, තිස් වසරක යුද්ධය නිමා වීමෙන් පසුව රට තුළ සංහිඳියාව ගොඩනැඟීම සඳහා පැවති රජයන් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලැබූ බවත් පාස්කු ප්‍රහාරය සමග රටේ ජනතාව අතර විවිධ මතවාද ඇති වීමට පටන් ගත් බවයි.

ඒ නිසාම නැවත ආගමික හෝ ජාතික වශයෙන් යුද්ධයක් ඇති නොවීමට නම් රට තුළ සංහිඳියා වැඩපිළිවෙළ ශක්තිමත් කළ යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ. ඒ සඳහා ආගමික හා සංහිඳියාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට විශාල වගකීමක් පැවරී තිබෙනවා.

අධ්‍යාත්මික ගුණගරුක සමාජයක් ගොඩනැඟීම මෙන්ම සංහිඳියා වැඩපිළිවෙළ දරුවන් අතරට ගෙන යා යුතු අතර එහිදී ආගමික නායකයන්ට විශාල වගකීමක් පැවරී ඇති බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.