සියලු පාසල් සිසුන් සම්බන්ධයෙන් නව මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කරයි..

Ministry of Education Sri Lanka Ministry of Health Sri Lanka Education
By Aruna Apr 24, 2023 02:04 AM GMT
Report

පවතින අධික උෂ්ණත්වය මත පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යාංශය වෙත අදාළ මාර්ගෝපදේශ මාලාව යොමුකර ඇති අතර ඒ සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කරන ලෙස ද පාසල් ප්‍රධානීන් වෙත උපදෙස් ලබා දී ඇති බවයි පැවසෙන්නේ.

මෙහිදී අධික උෂ්ණත්වයයන් සහිත කාලගුණික තත්ත්වයන් පවතින අවස්ථාවල දී අහිතකර ප්‍රතිඵල ඇති විය හැකි බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ.

දහඩිය දැමීම හේතුවෙන් විජලන සහ ලවන ඉවත් වීම හේතුවෙන් ඇති වන මස් පිඩු පෙරළීම, අධික මහන්සිය සහ ආඝාත තත්ත්වයන් ඉහළ යාම මෙහි බරපතළ තත්ත්වයක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කරයි.

මෙවැනි අවස්ථාවල දී සිදුකළ යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද සෞඛ්‍ය අමාත්‍යාංශය පාසල් බලධාරීන් දැනුවත් කිරීමට පියවර ගෙන ඇත.

එමෙන්ම පාසල් ක්‍රියාකාරකම්වල නිරත වීමේ දී අධික උෂ්ණත්වය පවතින දිනවල සිසුන් එළිමහනේ හෝ ක්‍රීඩා පිටියේ ක්‍රියාකාරකම්වල යෙදීමෙන් වැළකිය යුතු අතර සිසුන් විවේක කාලයේ දී දැඩි හිරු එළිය සහිත එළිමහනේ ගත කිරීම හා ක්‍රීඩා කිරීමෙන් වළක්වා ගත යුතු බව ද එම නිවේදනයේ සඳහන්වේ.

වැඩිපුර ජලය පානය හා වෙහෙස නිවා ගැනීම සඳහා කෙටි විවේක කාල දෙකක් ලබාදීම වඩාත් සුදුසු බව ද එම නිවේදනයේ දැක්වේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිකුත් කළ මාර්ගෝපදේශ මාලාවේ වැඩිදුරටත් සඳහන් වන්නේ, අත්‍යවශ්‍ය නොවන අවස්ථාවල දී සිසුන් පාසලෙන් ඉවතට යැවීම වළක්වා ගත යුතු අතර අධික උෂ්ණත්වය සහිත දිනවල නිවාසාන්තර ක්‍රීඩා හා පුහුණුවීම් නැවැත්විය යුතු බවයි.

මීට අමතරව මෙවැනි අවස්ථාවන්වල දී පහසුකම් සැලසීම යටතේ සහ සිසුන්ගේ පුද්ගලික පෙර සූදානම යටතේ ද සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිර්දේශ නිකුත් කර ඇත.

මේ අතර මැයි මස 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි පාසල් ළමුන් ප්‍රවාහන ගාස්තුව පහළ දැමීමට බලාපොරොත්තු වන බව සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමුන් ප්‍රවාහන සංගමය පවසයි.

එහි සභාපති එන්. එම්. කේ හරිස්චන්ද්‍ර පද්මසිරි මහතා සඳහන් කළේ 5% – 8% අතර අගයකින් ගාස්තු පහළ දැමීමට සැලසුම් කර ඇති බවය.

සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now