විදෙස් කතගේ ජීවිතය බේරූ ඩිලාන්ගේ සැකය..

Sri Lanka Australia
By Sewvandhi Apr 01, 2024 03:03 PM GMT
Report

සමාජ මාධ්‍ය ඔස්සේ හමු වූ තම පෙම්වතා බව කියන පුද්ගලයෙකුගේ මුල්‍ය වංචාවකට හසුවීමට ගිය මෙල්බන් හි පදිංචි කාන්තාවක් ඉන් බේරා ගැනීමට ශ්‍රී ලංකික බැංකු නිලධාරියෙකු සමත්වී ඇති බව ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

අදාළ කාන්තාව තම පෙම්වතා බව කියන විදේශිකයෙකුට මුදල් යැවීම සඳහා "ජාතික ඔස්ට්‍රේලියානු බැංකුවේ" (NAB) මෙල්බර්න් ශාඛාවකට ගොස් තිබුණාය. එහෙත් එම බැංකුවේ පාරිභෝගික උපදේශක නිලධාරියා ලෙසට සිටි ශ්‍රී ලංකිකයෙකු වන ඩිලාන් පතිරණට මෙම කාන්තාව ලබාදුන් තොරතුරු පිළිබඳ ඇති වූ සැකයක් මත වැඩිදුරටත් සොයා බලා තිබුණි.

වයස අවුරුදු 60ක් පමණ වන කාන්තාවට බැංකුවට ගොස් මුදල් යැවීමට උදව් අවශ්‍ය බව පැවසුව ද එම මුදල් ලබන්නාගේ වාසගම තමන් නොදන්නා බව ඇය ප්‍රකාශ කළාය. කාන්තාව, පෙම්වතාගේ නම සොයා ගැනීමට ඇයට ලැබුණු කෙටි පණිවුඩ ඩිලාන් ට පෙන්වා ඇති අතර එහිදී මෙය යම් වංචාවක් විය හැකි බවට ඔහුට වැටහී තිබුණි.

කෙසේ වෙතත්, එම කාන්තාව දැඩි ලෙස ප්‍රකාශ කර ඇත්තේ තුර්කියේ සිටින තම පෙම්වතාට වෛද්‍ය ප්‍රතිකාර සඳහා එක්සත් රාජධානියට යාමට ඩොලර් 2000ක් යැවිය යුතු බවයි. එහෙත් මෙම කාන්තාවට සමාජ මාධ්‍ය ඔස්සේ හමු වූ පෙම්වතාගේ ගිණුම අත්හිටුවා ඇති බැවින් එම මුදල් යැවීමට නොහැකි වූ බව ඩිලාන් පතිරණ කියා තිබුණි.

මුදල් ලබා දෙනු ලබන්නේ කාට ද යන්න ඇය නොදැන සිටි අතර එම පුද්ගලයා ඇය කිසි විටෙකත් මුණගැසී නොතිබීම ද විශේෂත්වයකි. ශ්‍රී ලංකික බැංකු සේවකයා ඔස්ට්‍රේලියා මාධ්‍ය වෙත සඳහන් කර ඇත්තේ මෙවැනි මුල්‍ය වංචාකරුවන් ඉතා කපටි වන බවත් මිනිසුන්ගේ කරුණාව හේතුවෙන් එවැනි වංචනිකයන්ට හසුවන බවයි.

අනතුරුව බැංකුවේ මූල්‍ය වංචා විමර්ශන කණ්ඩායමේ නිලධාරීන් සම්බන්ධ කර ගනිමින් මෙම කාන්තාව වංචාවකට හසුවී සිටින බවට දැනුම්වත් කර ඇති අතර ඇය මෙම වංචාවෙන් ගලවා ගැනීම පිළිබඳ ශ්‍රී ලාංකික බැංකු සේවකයාට ස්තූතිවන්ත වී ඇති බව සඳහන් ය.

ඇයට බැංකු නිලධාරීන් උපදෙස් ලබා දෙමින් සිටියදි සැකකාර විදේශ ජාතිකයා මෙම කාන්තාවට ඇමතුමක් ලබාගෙන ඇති අතර එහිදී ඔහු තර්ජනාත්මක ස්වරයෙන් කාන්තාවගෙන් කරුණු විමසා ඇති බවත් වාර්තා විය.

NAB බැංකුවේ පාරිභෝගික වාර්තා පෙන්වා දෙන්නේ ප්‍රේම සබඳතා සම්බන්ධ මුල්‍ය වංචා පිළිබඳ සිදුවීම් පසුගිය වසරේ සිට සියයට 30කින් පමණ ඉහළ ගොස් ඇති බවයි. පසුගිය වසරේ "ප්‍රේම සබඳතා සහ මිත්‍රත්වය" පෙන්වා සිදුකළ වංචා හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන්ට ඩොලර් මිලියන 33ක් අහිමි වී ඇති බව ස්කෑම් වොච් ඇස්තමේන්තු කර තිබේ.(උපුටාගැනීමක්)