ලක්ෂ 06කගේ රියදුරු බල පත්‍ර සම්බන්ධව විශේෂ තීරණයක් ගනී..

Ranil Wickremesinghe Sri Lanka Politician Driving Licence Department of Motor Vehicles
By Aruna Jun 28, 2023 05:54 AM GMT
Report

විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ට රියැදුරු බලපත්‍ර ලබා ගැනීම අනුමත කිරීමට ප්‍රවාහන වෛද්‍යායතනවල වෛද්‍යවරු එකඟතාව පළ කර තිබෙනවා.

ලක්ෂ 06ක් පමණ වන විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ට රියැදුරු බලපත්‍ර මෙතෙක් ලබා ගැනීමට නොහැකි වූයේ වෛද්‍යවරුන් ඔවුන්ගේ ශාරීරික යෝග්‍යතාව අනුමත කරනු නොලැබීම හේතුවෙනි.

වෛද්‍යවරුන්ගේ මෙම එකඟතාවද සමග එම පුද්ගලයන්ට රියැදුරු බලපත්‍ර ලබා ගැනීමට හැකියාව ලැබෙන නිර්දේශ ඇතුළත් විශේෂ වාර්තාවක් මෙම මස අවසානයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහ අදාළ ඇමැතිවරුන්ට පිරිනැමීමට නියමිතව තිබේ.

මෙම වාර්තාව සකස් කරන්නේ ජනාධිපතිවරයා විසින් පත් කරන ලද කමිටුවට අදාලව, විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ට රියැදුරු බලපත්‍ර ලබා ගැනීමේදී ඇති වන ගැටලු සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීමටයි.

විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ට රියැදුරු බලපත්‍ර ලබා ගැනීමට පැවැති සියලු බාධා මේ වනවිට ඉවත් වී තිබෙන බව කමිටු සභාපති ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා ප්‍රකාශ කළා.

එමෙන්ම දැනට පවතින පනත අනුව රජයේ ලියාපදිංචි ඕනෑම වෛද්‍යවරයකුගෙන් යෝග්‍යතා සහතික ලබා ගත හැකි බවත්, ඒ සඳහා විධිවිධාන සැලසීමට ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයාට හැකියාව තිබෙන බවත් කී සභාපතිවරයා මීට අදාළ නිර්දේශ ඇතුළත් වාර්තාව ජනාධිපතිවරයාට මෙන්ම අදාළ ඇමැතිවරුන්ට ලබා දෙන බවත් සඳහන්.

මෙම පුද්ගලයන්ට රියැදුරු බලපත්‍ර නිකුත් කිරීම සඳහා දැනට පවතින නීතියේ කිසිදු වෙනසක් කිරීමට අවශ්‍ය නොවන බවත් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියා.