ප්‍රබල රටවල් කිහිපයක් ගැන ඩොනල්ඩ් ට්‍රම්ප් ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්.

Donald Trump United States of America
By Aruna Apr 13, 2023 02:13 AM GMT
Report

අමෙරිකාවට තර්ජන එල්ලවන්නේ රුසියාව හෝ චීනයෙන් නොව අමෙරිකාව තුළින්ම බව එරට හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

අමෙරිකාවේ FOX රූපවාහිනී නාලිකාවට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ, රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් විශිෂ්ට මිනිසෙකු බවයි.

වත්මන් අමෙරිකාවේ ප්‍රධාන ප්‍රතිවාදියා රුසියාව හෝ චීනය නොව රට තුළම ජීවත්වන අසහනයෙන් පෙළෙන රැඩිකල් කණ්ඩායම් බවයි අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ.

හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, "අමෙරිකාවේ ප්‍රධානම ප්‍රතිවාදියා චීනයද? රුසියාවද? උතුරු කොරියාවද? මම කියනවා..

ලොකුම ප්‍රශ්නෙ තියෙන්නේ රට තුළ. අසහනයෙන් පෙළෙන රැඩිකල් කණ්ඩායම්. අපිට රුසියාව, චීනය එක්ක සහයෝගෙන් ඉන්න පුළුවන්. මං කළා. මං චීනයෙන් ඩොලර් බිලියන ගණන් අරගත්තා. කිසිම ජනාධිපති කෙනෙක්ට බැරි වුණා.

ඔවුන්ට මට ගෞරව කරනවා." එමෙන්ම පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දී නෝර්ඩ් ස්ට්‍රීම් ඉන්ධන ප්‍රවාහන නළ පද්ධතියේ සිදුවූ පිපිරීම රුසියාව සිදු නොකළ බවද ට්‍රම්ප් මෙහිදී අවධාරණය කළා.

"මට අපේ රට අමාරුවේ දාන්න ඕන නැහැ. ඒක නොකළේ කවුද කියලා කියන්නම්. රුසියාව නෙමෙයි. ඔවුන් කියන විදිහට රුසියාව තමන්ගෙම නළ පද්ධතිය පුපුරවා ගත්තා.

ඒ රුසියාව නෙමෙයි. පුටින් දක්ෂ මනුස්සයෙක්. ඒත් ගිය අවුරුද්ද ඔහුට හොඳ වසරක් නෙමෙයි." මේ අතර ඔහු වත්මන් අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්ගේ විදෙස් ප්‍රතිපත්ති දැඩි සේ විවේචනයට ලක් කිරීමද විශේෂත්වයක්.

"තායිවානයට යන්න බෑ කියලා මං කිව්වා. ගියොත් නිකන් ප්‍රශ්න ඇතිවෙනවා. පුටින් ගැනත් කිව්වේ ඒක. ඔහු යුක්‍රේනයට අත තිබ්බොත් ලේසි වෙන්නේ නැහැ. දැන් බලන්නකො ලෝකෙම ලොකු අවුලකට පත්වෙලා.

සෞදි අරාබියෙදි වුණ දේ බලන්න. ඒ විශිෂ්ට මිනිස්සු අපිට උදව් කරන්න සූදානම් වෙලා හිටියෙ. ඔහු අතට අත දුන්නේ නැහැ.

ඔයා දන්නවද ඔය විදිහට කරන එකේ තේරුම. ඔයාගේ අත අපිරිසිදුයි කියන එක. ඔහුට කළේ ලොකු නින්දාවක්."


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now