ඩොලර් නැව් 3ක් මග එනවා..ඕනෑ තරම් ඩොලර් තියෙනවා..කැබිනට්ටුවෙන් ඇසුණු දේ..

Dollar to Sri Lankan Rupee Sri Lanka Udaya Gammanpila Dollars
By Aruna Dec 07, 2022 04:02 AM GMT
Report

‘විදේශ විනිමය අර්බුදයක් එනවා කියලා අමාත්‍ය මණ්ඩලයට කිව්වේ 2020 ඔක්තෝම්බර් මස 26. ආණ්ඩුව ඒ ගැන කිසිදු හැඟීමක් නැතුව කටයුතු කරද්දී තමයි 2021 ජූනි 12 මාධ්‍ය හමුවක් තියලා මම මේ ගැන රටට කිව්වේ.

නමුත් ආණ්ඩුවේ අනික් අමාත්‍යවරු මොකද්ද කිව්වේ. අපිට ඕනෑ තරම් සල්ලි තියෙනවා.

ඕනෑ තරම් ඩොලර් තියනවා. ගම්මන්පිල බොරු බිල්ලන් මවා රට බය කරනවා කිව්වා.

ඒක අමාත්‍යවරයෙක් කිව්වා ඩොලර් නැව් 3ක් මග එනවා කියලා.

ඩොලර් එන්නේ නැව් වලින් නෙමෙයි කියලා දන්නේ නැති කැබිනට් අමාත්‍යවරු ඉන්නා රටක මේ තත්ත්වය රටට උදා වීම පුදුම වෙන්න කාරණයක් නොවෙයි’ යයි පිවිතුරු හෙල උරුම පක්‍ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ උදය ගම්මන්පිල මහතා පැවසීය.

පිවිතුරු හෙල උරුමය විසින් පවත්වන ලද මාධ්‍ය හමුවේ දී ගම්මන්පිල මහතා මෙම අදහස් පල කරන ලදී.

ලක්ෂ්මන් කබ්රාල් නන්දලාල් කියන මහ බැංකු අධිපති ත්‍රිත්වයෙන් වැඩිපුරම මුදල් අච්චු ගහලා තිබෙන්නේ ඊට පෙර අධිපතිවරුන් මුදල් අච්චු ගැසීම පිලිබඳ කර්කශ විවේචන ඉදිරිපත් කළ නන්දලාල් අධිපතිතුමා කියන එක නොවැම්බර් 17දා මම පාර්ලිමේන්තුවේ දී හෙලි කලා.

අද වන විට ආර්ථික ක්ෂේත්‍රයේ විද්වතුන් අතර මේ පිලිබඳ විවාදයක් ඇති වෙලා තිබෙනවා.

මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් කියන්නේ ලක්ෂ්මන් කබ්රාල් යුග වල දී වඩා නන්දලාල් යුගයේ දී සංචිත මුදල් අඩු වෙලා තිබෙනවා කියා.

මුදල් රාජ්‍ය ඇමතිතුමා ඒ හා සමාන ප්‍රකාශයක් පාර්ලිමේන්තුවේත් කලා. සේවා නූලට ගිනි තබපු පුද්ගලයා වශයෙන් මේ විවාදයට යලි එකතු වීම මගේ යුතුකමක්.

ඒ කතාව ඇත්ත. සංචිත මුදල් අඩු වෙලා තිබෙනවා. සංචිත මුදල් කියන්නේ ජනතාව අතේ බැංකු අතේ වගේම මහ බැංකුවේ තැන්පතු විධියට තිබෙන සමස්ත මුදල් ප්‍රවාහය කියලා අපි ආර්ථික විද්‍යාවට ඉගෙන ගෙන තිබෙනවා.

එම්1 එම්2 එම්2බී යනාදි වශයෙන් සංචිත මුදල් ගණන් හදන විවිධ ක්‍රම තිබෙනවා. සංචිත මුදල් අඩු වීමට මහ බැංකුව දායක වෙන්න පුළුවන්.

පොලී අනුපාතය වැඩි කරලා මහ බැංකුවේ පවත්වා ගෙන යා යුතු තැන්පතු අනුපාතය වැඩි කරලා ණය ප්‍රසාරණය පාලනය කරන්න මහ බැංකුවට යම් දායකත්වයක් දක්වන්න පුළුවන්.

නමුත් සංචිත මුදල් කියන එක මහ බැංකුවේ පාලනය යටතේ තිබෙන එකක් නොවේ. ආර්ථිකයේ ක්‍රියාකාරකම් මත තීරණය වන දෙයක්.

අපි කතා කලේ සෘජුවම මහ බැංකුව යටතේ පාලනය වන මුදල් අච්චු ගැසීම ගැනයි. නැතිනම් නව මුදල් නෝට්ටු මුදල් ප්‍රවාහයට නිකුත් කිරීම ගැනයි.

මුදල් අච්චු ගැසීම උද්ධමනයට බලපාන්නේ කොහොමද කියන එක සමහරුන්ට ප්‍රශ්නයක්. මහ බැංකුව මුදල් නෝට්ටු අච්චු ගහලා සේප්පු තුල තබාගෙන ඉන්න තුරු උද්ධමනයට බලපෑමක් නෑ.

ආණ්ඩුව ණය ගන්නේ බැඳුම්කර සහ භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරලා. මේවා මිල දී ගන්න කවුරුවත් ඉදිරිපත් නොවුනොත් මහ බැංකුව විසින් අර අළුතින් අච්චු ගහපු මුදල් නෝට්ටු භාවිතා කරලා මිල දී ගන්නවා.

ඒ හරහා මහ බැංකුවේ සේප්පු වල තිබුණු මුදල් නෝට්ටු මුදල් සංසරණයට එකතු වෙනවා.

ජනතාව අතේ ගැවසෙන මුදල් වැඩි වුණාම භාණ්ඩ සඳහා ඉල්ලුම වැඩි වී උද්ධමනය ඉහල යනවා. අපි නගපු නිශ්චිත චෝදනාව වුණේ ලක්ෂ්මන් කබ්රාල් යුග වලට වඩා නන්දලාල් යුගයේ දී මුදල් අච්චු ගැසීම ඉහල ගොස් ඇති බවයි.

සංචිත මුදල් ගැන අප කතා කළේ නැහැ. එක්කෝ එහෙම කලා. එහෙම නොකර බෑ. එදා මගේ විවේචනය වැරදියි කියා උත්තර දෙන්න ඕනෑ.

නැතිනම් මගේ යුගයේ මුදල් අච්චු ගැසීම වැඩියි කියන එක වැරදියි කියලා සංඛ්‍යාලේඛන සහිතව ඔප්පු කරන්න ඕනෑ.

ඒ වෙනුවට මුදල් අච්චු ගැසීම ගැන ප්‍රශ්න කරාම සංචිත මුදල් ගැන උත්තර දීම කොහෙද යන්නේ – මල්ලේ පොල් උත්තර දීම ප්‍රශ්නයෙන් පලා යෑමක්.

වැටුප් ගෙවීම, සහනාධාර ගෙවීම, ණය ගෙවීම වගේ අත්‍යාවශ්‍ය දේවල් සඳහා ආණ්ඩුවේ ආදායම ප්‍රමාණවත් නැති නම් මුදල් අච්චු ගහලා හරි මේ වියදම් පියවා ගන්න ආණ්ඩුවටත් මහා බැංකුවටත් සිද්ධ වෙනවා.

නමුත් මෙවර අයවැයෙන් රුපියල් ට්‍රිලියන පහකින් ණය කන්ද වැඩි කරන්න යෝජනා කරලා තිබෙනවා.

පහ පුංචි වුණාට ට්‍රිලියනයට බිංදු 12ක්. මේ දක්වා ගත්ත සමස්ත ණය ප්‍රමාණය ට්‍රිලියන 25යි.

ඒක 2023 දී විතරක් 20%කින් ඉහල නංවන්න ආණ්ඩුව බලාපොරොත්තු වෙනවා. මොනවා කරන්න ද? අළුතින් ආයතන 11ක් හදන්න.

මේ අනවශ්‍ය වියදම් කපා හැරීම මහ බැංකුවේ වගකීමක් නොවේද ? එහෙම නැතිනම් ආණ්ඩුව ඉල්ලන ඉල්ලන ප්‍රමාණයට සල්ලි අච්චු ගහලා ලබාදීමද මහ බැංකුවේ වගකීම.

ආණ්ඩුවේ ආර්ථික උපදේශකයා මහ බැංකුවේ මුදල් මණ්ඩලයි.

මුදල් නීති පනතේ 114 වගන්තියේ ඉතා පැහැදිලිවම කියා තිබෙනවා මුදල් මණ්ඩලයේ උපදෙස් නොලබා කිසිම ණයක් ලබා ගන්න බෑ කියලා.

ඒ අපදෙස් ලබාදීමේ වගකීම මහ බැංකුව දිගින් දිගටම පැහැරහරිනවා කියන චෝදනාවයි අප එල්ල කරන්නේ.

ඒ චෝදනාවට පිළිතුරු නොදී කොහෙද යන්නෙ යැව්වහම මල්ලේ පොල් උත්තර දෙන්න එපා කියලා අපි මහ බැංකු අධිපතිතුමා ගෙනුත් අනෙකුත් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

මහ බැංකුවේ ලෙඩා මලත් බඩ සුද්දයි ක්‍රමය ඒ වගේම උද්ධමනය පාලනය කිරීම සඳහා 30% කටත් වඩා වැඩි ප්‍රතිශතයක් දක්වා පොලි අනුපාත වැඩි කර තිබෙනවා.

පොලී අනුපාත ඉහළ දැමීමෙන් ණය ප්‍රසාරණය නතර වෙනවා. ඒ නිසා භාණ්ඩ වලට ඇති ඉල්ලුම අඩු වෙනවා.

උද්ධමනය පාලනය කරන්න පුළුවන් වෙනවා.

මේවා න්‍යයන්. දැන් මේකෙන් උද්ධමනය පාලනය කලත් 30% පොලියට අරගෙන ව්‍යාපාරයක් කරනවා නම් ඒ කරන්න පුලුවන් මත්කුඩු ව්‍යාපාරය විතරයි.

මොකද 30% ක පොලියට අරගෙන ලාභයක් ලබන්න ඇත්නම් ඊට වඩා වැඩි ලාභ අනුපාතයක් ඒ ව්‍යාපාරයට තියෙන්න ඕනෑ. එහෙම ව්‍යාපාරයකට තියෙන්නේ මත්කුඩු ව්‍යාපාරය පමණයි.

ව්‍යාපාර සියල්ලම මින් බිඳවැටෙනවා. කුඩා කර්මාන්ත වැසි ගිහිල්ලා ලක්ෂ සංඛ්‍යාත ජනතාවකට රස්සා නැතිව යනවා මේ ඉහළ පොළිය ව්‍යාපාරික අංශයට දරාගන්න බැරි හන්දා.

ඒ නිසා මහ බැංකුව කල යුත්තේ ලෙඩා මලත් බඩ සුද්දයි කියලා ආර්ථිකය කඩාවැටෙන ආකාරයෙන් උද්ධමනය පාලනය කිරීම නොවේ.

පොලී අනුපාතය ඉහල දැමීම වෙනුවට මුදල් අච්චු ගැසීම පාලනය කිරීම හරහා උද්ධමනය පාලනය කිරීමට කටයුතු කළහොත් ව්‍යාපාරික ක්ෂේත්‍රයටද හානියක් නොකර උද්ධමනය පාලනය කිරීමට මහ බැංකුවට හැකි වෙනවා කියලා අප පෙන්වා දෙන්න කැමතියි.

ප්‍රශ්න සහ පිළිතුරු ප්‍රශ්නය ඉන්ධන මිල විශාල ප්‍රමාණයකින් ඉහළ දමලා යළි සුළු ප්‍රමාණයකින් පහත හෙළනවා මොකක්ද මේ සිදු කරන්නේ ?

පිළිතුර මිල ස්ථායිකරණ අරමුදලක් සමඟ මිල සූත්‍රයක් ගෙන ආ යුතුයි කියන එක මම අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළේ 2021 පෙබරවාරි මස 15 වැනිදා.

නමුත් ඒකට කමිටු දදා අනුමත නොකර ඇද ඇද ගියා. පිරිවැය නිරූපිත මිල ක්‍රමයක් තියෙන්න ඕනේ. ඒ මිල ක්‍රමය පාරදෘශ්‍ය වෙන්න ඕනේ.

තෙල් මිල වැඩි වෙද්දී පිම්මේ ඉහල ගියත් අඩු වෙද්දී එහෙම වෙන්නේ නැහැ. පළමු දේ මිල සූත්‍රය ප්‍රසිද්ධ වෙන්න ඕන.

ඒ වගේම ලංකාවට ගැළපෙන්නේ බටහිර රටවල තියෙන මිල සූත්‍රය ද නොවෙයි.

මිල සූත්‍රය හා බැඳුණු මිල ස්ථායිකරණ අරමුදලක්. මොකද 120ට තියෙන ඩීසල් ලීටරයක් එකවරම රුපියල් හාරසිය විස්සට මිල වැඩි වෙනවා නම් මේ රටේ පාරිභෝගිකයාට එක දරාගන්න බෑ.

නිෂ්පාදකයාට භාණ්ඩයක නිෂ්පාදන මිල තීරණය කරන්න බැහැ.

මිල ස්ථායිකරණ අරමුදලකින් කරන්නේ මිල අඩු වන කාලයක එම මිළ අඩුවීමේ සම්පුර්ණ වාසිය ජනතාවට දෙන්නේ නැතුව ඉන් කොටසක් අරමුදලකට අරගෙන ඒ අරමුදල පාවිච්චි කරනවා මිල වැඩිවීම සිදුවන කාල වලදී මිල වැඩි කිරීමක් සිදු නොකර යම් මිල සමනය කර ගැනීමක් සිදු කරන්න.

මේක තුන්වන ලෝකයේ රටවල ක්‍රියාත්මක වන ක්‍රම වේදයක්. අපි මීට වසර 2 කට කලින් තමයි මේක යෝජනා කළේ.

අවාසනාවකට මෙවැනි නිර්මාණශීලී අදහස් ආණ්ඩුව ක්‍රියාත්මක නොකළ නිසා තමයි ආණ්ඩුව අමාරුවෙ වැටුනෙ.

ඒ වගේම විදේශ විනිමය අර්බුදයක් එනවා කියලා අමාත්‍ය මණ්ඩලයට කිව්වේ 2020 ඔක්තෝම්බර් මස 26. ආණ්ඩුව ඒ ගැන කිසිදු හැඟීමක් නැතුව කටයුතු කරද්දී තමයි 2021 ජූනි 12 මාධ්‍ය හමුවක් තියලා මම මේ ගැන රටට කිව්වේ.

නමුත් ආණ්ඩුවේ අනික් අමාත්‍යවරු මොකද්ද කිව්වේ. අපිට ඕනෑ තරම් සල්ලි තියෙනවා. ඕනෑ තරම් ඩොලර් තියනවා.

ගම්මන්පිල බොරු බිල්ලන් මවා රට බය කරනවා කිව්වා. ඒක අමාත්‍යවරයෙක් කිව්වා ඩොලර් නැව් 3ක් මග එනවා කියලා.

ඩොලර් එන්නේ නැව් වලින් නෙමෙයි කියලා දන්නේ නැති කැබිනට් අමාත්‍යවරු ඉන්නා රටක මේ තත්ත්වය රටට උදා වීම පුදුම වෙන්න කාරණයක් නොවෙයි.

වෙන්න යන දේ හැමදාමත් අපි කලින් කියලා තියෙනවා. අවාසනාවට ඒක බීරි අලින්ට වීණා ගායනා කරනවා වගේ එදා සිද්ද වුණේ.

අදත් එසේ නොවේවා කියා අපි ප්‍රාර්ථනා කරනවා. ප්‍රශ්නය යලි අරගලයක් ඇති වේයැයි කනින් කොනින් කියවෙනවා.

ඔබතුමන්ලා මොකද කරන්නේ. පිළිතුර ආණ්ඩුව එළවා දැමීමට නම් ළඟ එන පළාත් පාලන ඡන්දය පාවිච්චි කළ යුතුයි. මහ පාරේ තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීම ජනතාව ජනතාවගේ අයිතියක්.

නමුත් එය ප්‍රචණ්ඩ ආකාරයෙන් සිදු කරලා රටේ සාමාන්‍ය ජනතාව පීඩාවට පත් කරන්න එපා. අපේ රටට එන ආයෝජකයක් සංචාරකයා බියට පත් කරලා වෙන රටවලට පලවා හරින්න එපා කියලා අපි ඉල්ලීමක් කරනවා.

අරගලයේ අවසන් ප්‍රතිඵලය රට තිබුණු තැනින් ද පහළට ඇද වැටීම නම් ඒක දේශප්‍රේමී අරගලයක් වෙන්නේ නැහැ.

ඒ වගේම අපි අරගල කරන, ආණ්ඩුව එලවන්න, හදන හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා ආණ්ඩුව එළවලා විතරක් මදි ආණ්ඩුව එළවලා බලයට එන්නෙ කවුද කියලත් කියන්න ඕන.

ගියපාර අරගලයට එවැනි දෙයක් තිබුනේ නැහැ. ඔවුන් අරගල කරන්න කලින් කිව්වේ නැහැ අපේ අරගලයෙහි අරමුණ රනිල් වික්‍රමසිංහ ජනාධිපති කිරීමයි කියලා.

සමහරවිට අරගලය සිදු නොවන්නට ඉඩ තිබුණා එක කිව්වා නම්.

ඒ වාගේම අරගලයක් කරලා ආණ්ඩුව පලවා හැරලා බලයට පත්වන පිරිස රට පාලනය කරන වැඩපිළිවෙල මොකක්ද කියලා රට හමුවේ කියන්න ඕන.

ප්‍රශ්නය ඔබතුමන්ලාගේ ඉදිරි දේශපාලන සැලසුම් මොනවාද ?

පිළිතුර ආණ්ඩුවට එරෙහිව බිහි කළ හැකි ප්‍රබලම සන්ධානයක් බිහිකරන්න මේ දිනවල සාකච්ඡා කරමින් යනවා.

වැදගත් වෙන්නේ ආණ්ඩුව පරාජය කිරීම නොවේ. ආණ්ඩුව පරාජය කළාට පසුව මොකද කරන්නේ කියන එකයි.

හැමෝම එකතු වෙන්නේ සන්ධාන හදන්නේ ආණ්ඩු පෙරළන්න මිසක් පෙරළුවා ට පස්සේ කොහොමද කරන්නේ කියන එක ගැන කතා වෙන්නේ නැහැ.

ඒ නිසා පොදු වැඩපිළිවෙළක් සඳහා අප එකතු වෙන්න ඕන. ඒ සඳහා වන සාකච්ඡාවක් අපි ආරම්භ කර තිබෙනවා.

මෙම මාධ්‍ය හමුව සඳහා පක්ෂයේ නියෝජ්‍ය ජාතික සංවිධායක යසපාල කෝරලගේ මහතා සහ මාධ්‍ය ලේකම් අරවින්ද අතුකෝරල මහතාද සහභාගී විය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now