දයාසිරිගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි..!
බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය විසින් දයාසිරි ජයසේකර මහතා විසින් ඉදිරිපත් කළ ඉල්ලීමක් අද (17) ප්‍රතික්ෂේප කළේය.
එනම් මෙහිදී, තමන්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ධුරයේ කටයුතු කිරීම අත්හිටුවීම සහ තමන්ගෙන් නිදහසට කරුණු විමසීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෙන තිබෙන තීරණ අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා එම පක්ෂයේ හිටපු මහලේකම් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා මෙම ඉල්ලීම සිදුකර තිබුණි.
බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රියන්ත ප්‍රනාන්දු සහ ෆ්රෑන්ක් ගුණවර්ධන විසින්, මෙම පෙත්සම්වල වගඋත්තරකරුවන් වශයෙන් නම්කර සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පිරිස වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම තීන්දුව ලබා දුනි.
එසේම ඔහු තර්ක කර තිබුණේ, පෙත්සම්කාර දයාසිරි ජයසේකර මහතාගෙන් නිදහසට කරුණු විමසීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාවේ අනුමැතියට යටත්ව සිදුකර ඇති බවත් එබැවින් එය නීත්‍යානුකූල බවටත්ය.
තමන්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ධූරයේ කටයුතු කිරීම අත්හිටුවීමට සහ තමන්ගෙන් නිදහසට කරුණු විමසීමට එම පක්ෂය ගෙන තිබෙන තීරණ අභියෝගයට ලක්කරමින් දයාසිරි ජයසේකර මහතා මුලින්ම කොළඹ දිසා අධිකරණය හමුවේ නඩු පවරා තිබුණි.
එම නඩු සලකාබැලූ කොළඹ දිසා අධිකරණය දයාසිරි ජයසේකර මහතා ඉල්ලා සිටි වාරණ නියෝග නිකුත් කිරීම ප්‍රතික්ෂේප කර තිබුණි.
කොළඹ දිසා අධිකරණයේ එම තීරණය නීතියට පටහැනි බවත් එබැවින් දිසා අධිකරණය විසින් ප්‍රතික්ෂේප කළ වාරණ නියෝග තමන් වෙත ලබාදෙන ලෙස ඉල්ලමින් දයාසිරි ජයසේකර මහතා බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය හමුවේ මෙම නඩු ගොනුකර තිබුණි.