අරගලයට පහරදීමේ සිද්ධියට සැකකරුවෙකු ලෙස දේශබන්දු නම් කරන්න.. අදිකරණය වෙත පෙත්සමක්..

By Sithumi Nov 29, 2022 02:45 PM GMT
Report

           බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ගාලු මුවදොර ගෝඨා ගෝ ගම අරගලයට පහර දීමේ සිද්ධියට අදාළ නඩුකරයේ සැකකරුවකු වශයෙන් නම් කොට ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලමින් අභියාචනාධිකරණය වෙත රීට්  පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. 

 අරගලයට සහය දැක්වූ නීතිඥවරයෙකු වන රාමලිංගම් රන්ජන් විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇති.

එහි වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා සහ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් නම් කර තිබෙනවා. 

 ඉකුත් මැයි මස 9 වන දා ගාලු මුවදොර ප්‍රදේශයේ පැවති ගෝඨා ගෝ ගම අරගලයට පහරදීමේ සිද්ධියේ සැකකරුවකු වශයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් නම් කිරීම සඳහා ප්‍රමාණවත් කරුණු පවතින බව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ද නිරීක්ෂණය කර ඇති බවයි පෙත්සම්කරු පවසන්නේ.

 එසේ තිබියදී දේශබන්දු තෙන්නකෝන් සැකකරුවකු වශයෙන් නම් කර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට වගඋත්තරකරුවන් මෙතෙක් ක්‍රියාකර නොමැති බවත් පෙත්සමේ දක්වා තිබෙනවා. 

 පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ. ඒ අනුව ගෝඨා ගෝ ගම අරගලයට පහරදීමේ සිද්ධියේ සැකකරුවකු වශයෙන් දේශබන්දු තෙන්නකෝන් නම් කරන ලෙස නීතිපතිවරයා, පොලිස්පතිවරයා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වෙත රිට් ආඥාවක් නිකුත් කරන ලෙසයි 

 ඊට අමතරව දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගෙන රඳවා තබා වැඩිදුර ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙස පොලිස්පතිවරයාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා. 

   ඔහු සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජාතික පොලිස් කොමිසම දැනුවත් කරන ලෙස පොලිස්පතිවරයාට නියෝගයක් නිකුත් කරන ලෙසයි අදාළ පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ.