වසරේ මුල් මාස 6 තුළ වැඩිම ඩෙංගු මදුරු හමුවූයේ පාසල් පරිශ්‍රවලින්

Sri Lanka Dengue Prevalence in Sri Lanka Latest Headlines Puwath.lk
By R.rishma Jul 19, 2026 03:55 AM GMT
Report

මෙම වසරේ මුල් මාස හය තුළ දිවයින පුරා සිදුකළ ඩෙංගු මර්දන පරීක්ෂාවලදී ඩෙංගු වාහක මදුරු කීටයන් වැඩිම ප්‍රමාණයක් හඳුනාගෙන ඇත්තේ පාසල් පරිශ්‍රවලින් බව ජාතික ඩෙංගු මර්දන ඒකකය අනාවරණය කරයි.

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ දත්තවලට අනුව, ජනවාරි සිට ජුනි මාසය දක්වා කාලය තුළ දිවයින පුරා පරිශ්‍ර 250,477ක් පරීක්ෂාවට ලක් කර ඇති අතර, ඉන් වැඩිම අවදානම් පරිශ්‍ර ලෙස හඳුනාගෙන ඇත්තේ පාසල් පරිශ්‍ර වේ.

පරීක්ෂාවට ලක් කළ පාසල් අතරින් සියයට 42.5ක ඩෙංගු වාහක මදුරු කීටයන් හඳුනාගෙන තිබේ. එමෙන්ම පරීක්ෂා කළ කර්මාන්තශාලාවලින් සියයට 38.4කත්, රාජ්‍ය ආයතනවලින් සියයට 28.1කත්, ආගමික ස්ථානවලින් සියයට 25.9කත් සහ නිවාසවලින් සියයට 9.2කත් මදුරු කීටයන් සොයාගෙන ඇති බව ද එම දත්තවල දැක්වේ.

මේ අතර, ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ ඊයේ (17) වන විට මෙම වසර තුළ වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 74,478ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

ඉන් පමණක් ජූලි මාසයේ ගතවූ දින 17 තුළ වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 19,100ක් වන අතර, රෝගීන්ගේ ශීඝ්‍ර ඉහළ යාම සෞඛ්‍ය අංශවල අවධානයට ලක්ව තිබේ.

පළාත් අනුව වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන් වන අතර, ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාව වන 15,596ක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇත.

මේ අතර, ඩෙංගු ව්‍යාප්තියේ බරපතළ තත්ත්වය තවදුරටත් තහවුරු කරමින් පසුගිය පැය 24 තුළ ඩෙංගු මරණ 3ක් වාර්තා වී තිබේ. ඒ අනුව, මෙම වසරේ සමස්ත ඩෙංගු මරණ සංඛ්‍යාව 53 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.

සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ නිවාස, පාසල්, රාජ්‍ය ආයතන සහ සේවා ස්ථාන අවට ජලය රැඳී සිටිය හැකි ස්ථාන නිරන්තරයෙන් පිරිසිදු කර ඩෙංගු මදුරුවන් බෝවන පරිසරය ඉවත් කිරීමට කටයුතු කරන ලෙසයි.