ඩෙංගු රෝගීන් 68,000 ඉක්මවයි
මෙම වසරේ ගතවූ කාලය තුළ මෙරටින් වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යමින් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
ඒ අනුව ඊයේ (12) වන විට වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 68,672ක් දක්වා ඉහළ ගොස් තිබේ.
පසුගිය 11 වැනි දින වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව 68,071ක් වූ අතර, එක් දිනක් තුළ පමණක් නව රෝගීන් 601ක් හඳුනාගෙන ඇති බව එම ඒකකය සඳහන් කළේය.
වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාව වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් වන අතර, එහි සමස්ත රෝගීන් සංඛ්‍යාව 36,118කි. එම පළාත තුළ වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එය 14,112ක් ලෙස සටහන් වේ. කොළඹ දිස්ත්‍රික්කයෙන් ද රෝගීන් 13,791ක් වාර්තා වී තිබේ.
මේ අතර, ජූලි මාසයේ ගතවූ පළමු දින 12 තුළ පමණක් ඩෙංගු රෝගීන් 13,293ක් හඳුනාගෙන ඇති බව ද ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
වසරේ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාව වාර්තා වී ඇත්තේ ජූනි මාසයේදී වන අතර, එම මාසයේදී පමණක් රෝගීන් 21,538ක් වාර්තා වී තිබේ.
ඩෙංගු රෝගය හේතුවෙන් මෙම වසරේ ගතවූ කාලය තුළ පුද්ගලයින් 47 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ද ජාතික ඩෙංගු මර්දන ඒකකය වැඩිදුරටත් සඳහන් කළේය.