ලසිත් මාලිංග සෙවූ පුංචි "දෙනෙත්" ගැන මෙතෙක් නොඇසූ හෙළිදරව්වක්..ඔහු ගැන නොදන්නා විස්තර මෙතනින් දැන ගන්න.(PHOTOS)

Lasith Malinga Hambantota Cricket Sri Lanka Cricket Sri Lanka
By Aruna Jun 14, 2023 07:54 AM GMT
Report

පුංචි දරුවාගේ පටන් මහල්ලා දක්වාම ක්‍රිකට් ක්‍රීඩාවට දක්වන්නේ සුවිශේෂී වු කැමැත්තකි.

ඒ නිසාවෙන්ම කලින් කලට ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳ මැවෙන පුවත්ද ජාත්‍යන්තරය පවා අතික්‍රමණය කිරිමට සමත් වි ඇති බව නොරහසකි.

අද පාඨක ඔබට ලියන්නට යන මේ කතාව ද ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ පුවතක් වුවත් මෙහි කතා නායකයා වයස අවුරුදු 10ක පුංචි කොලු ගැටයෙකි.

34 හැවිරිදි රංජිත් මිලංග හා 30 හැවිරිදි කල්‍යාණි ගංගාත් ජීවත් වෙන්නේ වීරවිල, 19 කොලනියේය.

මීට වසර 12කට පමණ පෙර ආදර සම්බන්ධතාවක් මත විවාහ වූ මේ දෙපළගේ පුංචි කැදැල්ල එළිය කළේ පුංචි පුතු දෙනෙත් අනුහස්ය. අද ඔහුට වයස අවුරුදු 10කි.

වීරවිල 19 කොලනිය හ/ඇතුනදවල ප්‍රාථමික විද්‍යාලයේ 05 වසරේ අධ්‍යාපනය ලබන අනුහස් අධ්‍යාපන කටයුතු වලට මෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවට දක්වන්නේ සුවිශේෂ දස්කමකි.

පසුගිය මැයි 01 වන දින හ/ඇතුනදවල ප්‍රාථමික විද්‍යාල ක්‍රිඩාංගණයේදි ගමේ කොල්ලෝ කුරුට්ටෝ ටික එකතු වී සාදාගත් ක්‍රිකට් කණ්ඩායම් අතර තරගයක් පැවැත්වීමට සංවිධානය කර තිබුණි.

එහිදි පුංචි අනුහස් බෝලයක් ද අතැතිව පිට්ටනියට පැමිණ සිය කණ්ඩායම එක්ක පුහුණු විම් සිදු කරමින් සිටියේ තරගය පටන් ගැනීමට ඒ වන විටත් ඕනවටත් වඩා වේලාවක් තිබුණ නිසාය.

එහිදී මෙම තරගය නැරඹීමට පැමිණ සිටි පිරිස අතර වීරවිල සේදවත්ත පදිංචි 24 හැවිරිදි සහන් හර්ෂ ද පිට්ටනිය අසලට වී මෙම කොල්ලෝ කුරුට්ටන්ගේ ක්‍රිකට් පුහුණුවිම් දෙස බලා සිටියේ මහත් ආසාවෙනි.

සහන් ද ක්‍රිකට් ක්‍රීඩාවට මහත් සේ ආදරය කළ කෙනෙකි.

පුංචි ක්‍රීඩකයන් එහෙ මෙහේ දුවමින් පනිමින් ක්‍රීඩා කරන විලාසය දෙස බලා සිටි සහන්ට 10 හැවිරිදි අනුහස්ගේ පන්දු යැවීමේ විලාසය නෙත ගැටුණේ අහම්බෙන් මෙනි.

අනුහස්ගේ පන්දු යැවීම මෙරටින් බිහි වූ දක්ෂ වේග පන්දු යවන ක්‍රිකට් ක්‍රීඩකයකු වූ ලසිත් මාලිංගගේ ක්‍රීඩා විලාසයට හැම අතින්ම සමාන බවක් සහන්ට දැනුණි.

මේ නිසාම අනුහස් ක්‍රීඩා කරන විලාසය හා ලසිත් මාලිංග ක්‍රීඩා කරන විලාසය සසඳමින් ඔහු අනුහස්ගේ වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත මුදා හැරියේය.

සමාජ මාධ්‍ය හරහා 10 හැවිරිදි අනුහස්ගේ ක්‍රීඩා විලාසයට ලැබුණු ප්‍රතිචාර අති විශාලය.

ඒ වන විටත් ඔස්ට්‍රේලියාවට ගොස් සිටි ලසිත් මාලිංගට ද මෙම වීඩියෝව නෙත ගැටෙන්නේ ඒ අතරතුරය.

ඒ අනුව සිය ඉරියව්වටත් එහා ගිය ඉරියව් සහිතව පන්දු යවන මෙම පුංචි ක්‍රීඩකයා සොයා ගැනීමට සහාය වන ලෙස ඉල්ලමින් ලසිත් මාලිංග ද ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තැබීය.

කෙසේ හෝ මේ වන විට මාධ්‍ය ආයතනවල මැදිහත්වීම මත ලසිත් මාලිංගට මෙම පුංචි පන්දු යවන්නා සොයා ගැනීමට හැකිව තිබේ.එනිසාවෙන්ම රටක් කතා කළ බොහෝ දෙනකු සෙවූ මෙම පුංචි මාලිංග සොයා අප ද ගියෙමු.

වීරවිල නගරයට ගිය අප එතැනින් දකුණට හැරී මඳ දුරක් ගිය විට හමුවෙන 19 කොළණිය මාර්ගයේ කිලෝමීටර් 6ක් පමණ ගිය විට හමු­‍වෙන ඇතුනදවල පන්සල අසලින් ඇති කෙටි මාර්ගය දිගේ තවත් කිලෝ මීටර් 02ක් පමණ ගිය විට හමුවන ඇතුනදවල විද්‍යාලය හමු වේ.

එම විද්‍යාලයේ ක්‍රීඩා පිටිය අසල අනුහස්ගේ පුංචි නිවෙස පිහිටා තිබුණි. කපරාරු කර නැති මැටි ගඩොලින් බැඳ වහලට ටකරන් යොදා තිබූ පුංචි ගේක අනුහස්, මව හා පියා සමඟ ජීවත් වෙයි.

අප එහි යනවිටත් අනුහස් පුංචි දරුවන් පිරිසක් සමඟ සෙල්ලම් කරමින් සිටියේය.

එහි ගිය අපට දැකිය හැකි වූයේ මව පියා අතුළු අනුහස් අඟහිඟකම් රැසක් මැද ඉතා දුෂ්කර ජීවිතයක් ගෙවන බවයි.

අනුහස්ගේ පියා රංජිත් මිලංග

අනුහස්ගේ පියා වූ 34 හැවිරිදි ඩී. රංජිත් මිලංග අපත් සමඟ කතාබහට එක්වෙමින් මෙලෙස පැවසීය.

‘මම විවාහ වුණේ මීට වසර 12කට පෙර. විවාහ වෙලා මාස කිහිපයක් මහගෙදර හිටියා.

ඊට පස්සේ මම ඇවිත් කැලේ කපලා මෙතන තිබුණු ඉඩමේ පදිංචි වුණා.දැන් අවුරුදු 12ක් වෙලේ ඉඳන් මම මෙතන පදිංචි වෙලා ඉන්නේ. මට ඉන්නේ එක දරුවයි. ඒ තමයි අනුහස්.

මට ස්ථිර රැකියාවක් නෑ. කුලී වැඩ තමයි කරන්නේ. කුලියක් තියෙන දවසට කොහේ හරි ගිහින් වැඩ කරලා කීයක් හරි හොයාගෙන එනවා. ඒකෙන් තමා අපි ජීවත් වෙන්නේ.

මගේ දරුවා අනුහස් මුලින්ම කරාටේවලට ගොඩක් දක්ෂකමක් දැක්වූවා.

ඒත් එක්කම නිතරම පාසලේ පිට්ටනියට ගිහින් ක්‍රිකට් සෙල්ලම් කරනවා. දරුවා මෙහිදී පන්දු යවන විදිහ හරිම අමුතුයි.

එය හරියට ලසිත් මාලිංග පන්දු යවන විදිහමයි. ගමේ තියෙන ක්‍රිකට් කණ්ඩායමේ නායකයා මගේ පුතා.

අනිත් දරුවන් එක්ක ගත්තම පුංචිම දරුවා වෙන්නේ අනුහස්. හැබැයි ගොඩක් අවස්ථාවලදි අනුහස් තමයි ගොඩක් ස්ථානවලදි පෙරට ඇවිත් කටයුතු කරන්නේ.

පාසලේ ක්‍රීඩා නායකයා වන්නෙත් මගේ දරුවායි. දරුවගේ දක්ෂතාව දැක්ක නිසා මමත් ඔහුට ක්‍රීඩා කරන්න අවශ්‍ය විදිහට පහසුකම් සලසා දුන්නා.

මට ලෙදර් බෝලයක් අරන් දෙන්න වත්කමක් තිබුණේ නෑ. හැකි පරිදි බෝලයක් බැට් එකක් අරගෙන දුන්නා.

කුලී වැඩ කරගෙන ඉන්න මට මහා ලොකු දෙයක් කරන්න අමාරුයි. මං මට පුළුවන් විදිහට දරුවගේ අනාගතය වෙනුවෙන් කැප වුණා.

මේ වෙනකොට දරුවට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබිලා තියෙනවා.

දරුවට ඉගෙන ගන්න පහසුකම් තියෙන දෙබරවැව ජාතික පාසලට යොමු කරන්න කටයුතු කර දෙන්නම් කියලා ලසිත් මාලිංග වගේම තවත් ක්‍රිඩකයන් බොහෝ දෙනෙක් මට කතා කරලා කිවුවා.

ඉතින් දෙබරවැව ජාතික පාසලට දරුවා දැම්මත් එක සැරේම මට ඒ වෙනුවෙන් ලොකු වියදමක් දරන්න අමාරුයි.

මං බලාපොරොත්තු වෙනවා ලසිත් මාලිංග හරි නැත්නම් වෙන කවුරු හරි මැදිහත් වෙලා දරුවගේ අනාගතය වෙනුවෙන් කටයුතු කරාවි කියලා.

මං ඉල්ලන්නෙත් එච්චරයි. මොකද කුලී වැඩ කරමින් සිටින මට ලොකු දෙයක් කරගන්න අමාරුයි. මගේ එකම අරමුණ මේ දරුවට උගන්වන එක විතරයි.

මට ඒකට උදවු කරන්න කියලා තමයි මං ඉල්ලන්නේ‘

අනුහස්ගේ මව කළ්‍යාණි ගංගා

අනුහස්ගේ මව වන 30 හැවිරිදි එච්. කේ. ඩබ්ලිව්.කළ්‍යාණි ගංගා මෙලෙස පැවසුවාය.

‘මගේ දරුවගේ දක්ෂතාව ගැන අද මුළු රටම කතා කරනවා. ඇත්තටම මට ඒක සතුටුයි.

මුලදි දරුවා ළමයි එක්ක පිට්ටනියට ගිහින් බෝල ගහනකොට මං ගිහින් පොත් පාඩම් කරන්න කියලා කෑ ගහනවා.

බෝල ගහන්න ගිහින් මගෙන් ගුටිකාපු දවසුත් අනන්තවත් තියෙනවා.

පාඩම් වැඩ පාඩු කරගෙන බෝල ගහන්න යන්න දුන්නේ නෑ මං මුලදී. නමුත් දරුවා බෝල ගහන්න යන එක නවත්වන්නම බැරි වුණා.

පස්සේ මං දරුවට කාල සටහනක් හදලා දුන්නා වැඩ කරන්න. කාලසටහනේ සෙල්ලම් කරන්න යන්නත් වෙනම අවස්ථාව දුන්නා මම.

දරුවා පාඩම් වැඩ කරන ගමන් සෙල්ලම් කරන්නත් ගියා. එතකොට තමයි දරුවගේ බෝල දැමීම ගැන රටම කතා කරන්න ගත්තේ යැයි ඇය පැවසුවාය.

පුංචි අනුහස් කියපු දේ..

පුංචි අනුහස්ගෙන්ද අප ඔහුගේ බලාපොරොත්තු පිළිබඳව විමසීමක් කළා.

‘මම ක්‍රිකට් ක්‍රීඩාවට ගොඩක් කැමතියි.

මං කවදාහරි ලංකා ක්‍රිකට් කණ්ඩායමට සෙල්ලම් කරන එක තමයි මගේ එකම බලාපොරොත්තුව.

මට පුහුණු වෙන්න කියලා තැනක් නෑ. පුහුණුවක් ලබන්න ගුරුවරයෙක් නෑ.මොකද මං දැනට ඉගෙන ගන්නේ පුංචි ස්කෝලෙක නිසා.

මේ වෙනකොට මගේ වීඩියෝවක් නිසා දෙබරවැව තියෙන ලොකු ස්කෝලේට ගිහින් මට පුහුණුවීම් වෙන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා කියලා මට තාත්තා කිවුවා.

ඉතින් ලසිත් මාලිංග මාමත් මට රට ඉඳන් කතා කළා. මට ක්‍රීඩකයෙක් වෙන්න උදව් කරන්නම් කියලා කිව්වා.

ඇත්තටම මට ගොඩක් සතුටුයි ඒකට. මගේ තාත්තට ගොඩක් සල්ලි නෑ.

ඒ නිසා මං මොකුත් ඉල්ලලා තාත්තට කරදර කරන්නේ නෑ. මගේ ස්කෝලේ ගෙනියන බෑගයත් ඉරිලා තිබුණේ. පොත්පත් පවා ගොඩක් අඩුයි.

නමුත් මං තාත්තට කරදර කරන්නේ නෑ. පුළුවන් විදිහට තියෙන විදියට හැමදේම මම කරගන්නවා‘.

අනුහස්ගෙ පාසලේ විදුහල්පතිනි සරෝජා කුමුදුනී...

හා/ඇතුනදවල ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිනි එච්. පී. ඒ. සරෝජා කුමුදුනී මෙලෙස පැවසුවාය.

අනුහස් කියන්නේ අපේ පාසලේ ඉන්න දක්ෂ දරුවෙක්. ඔහු තමයි පාසලේ ක්‍රීඩා නායකයා වෙන්නෙත්.

අනුහස් ක්‍රීඩාවට වගේම අධ්‍යාපන කටයුතුවලටත් බොහොම දක්ෂ දරුවෙක්.

ඔහුට පවරන වැඩේ ඔහු අකුරටම ඉටු කරනවා. ඒ විතරක් නෙමේ සෑම අවස්ථාවකදිම වගේ අනුහස් නායකත්වය ගෙන කටයුතු කරන ඉදිරියට යන්න උත්සාහ කරන දරුවෙක්.

දවසින් දවස ඒ දරුවා යමක් ඉගෙන ගන්නවා. මේ වසරේ තමයි අනුහස් ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටින්නේ.

මමත් දැක්කා ඒ දරුවගේ පන්දු යවන විලාසයට විශාල ප්‍රතිචාර ලැබිලා තියෙනවා.

අපේ පාසල ප්‍රාථමික විද්‍යාලයක් නිසා ක්‍රීඩා පහසුකම් හෝ ක්‍රිඩා ගුරුවරු කිසිවෙකුත් නෑ.

නමුත් අපි අපිට පුළුවන් විදියට ක්‍රීඩාව සඳහා දරුවන් යොමු කිරීම කරනවා‘ දෙනෙත්ගේ පන්දු යැවීම මා විස්මයට පත් කළා. 

අනුහස් ගැන රටට හෙලිකළ සහන් හර්ෂ කුමාර ..

පන්දු යැවීමෙන් මුළු රටේම ආන්දෝලනයට ලක්වූ තිස්සමහාරාමයේ දෙනෙත් අනුහස්(9) පුංචි පුතුගේ පන්දු යැවීමේ හපන්කම රටට හෙළි කළේ හම්බන්තොට වීරවිල සේදවත්ත ගමේ සහන් හර්ෂ කුමාරයි.

හම්බන්තොට වීරවිල සේදවත්ත ගමේ පදිංචි සහන්, හම්බන්තොට වීරවිල විද්‍යාර්ථ විදුහලේ 24 හැවිරිදි ආදි ශිෂ්‍යයෙකි.

ඔහුගේ පියා වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ විශ්‍රාමිකයෙකි. මව ගෘහ­ණියකි.

වැඩිමහල් සොහොයුරියන් දෙදෙනෙකි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සහන්, “මම පොඩි කාලේ ඉඳලම ක්‍රිකට්වලට ආසයි. සැහැල්ලු පන්දු ක්‍රිකට් ගැහුවාට ලෙදර් ගහන්න සිහිනයක් තිබුණා.

ඒත් එම සිහිනය බොඳ වුණා. ක්‍රිකට්වලට ආස නිසාම සැහැල්ලු පන්දු නමින් ෆේස් බුක් පිටුවක් හදලා ඒකට ක්‍රිකට් ගැන සුවිශේෂී දේවල් දැම්මා.

ඒ වගේම මම ක්‍රිකට් ටික් ටොක් විඩියෝ හදලා දානවා. මගේ ටික් ටොක් ෆෑන්ස්ලා 69,302 ඉන්නවා.

ෆේස්බුක් පිටුවේ ෆලෝස්ලා 6,210 ක් ඉන්නවා. එදා 2023 මැයි 01 වැනිදා.

තිස්සමහාරාමයේ 19 කොලනියේ ක්‍රිකට් තරගාවලියක් පැවැත්වුණා.

මමත් මිතුරන් පිරිසක් සමඟ එයට එක්වූවා. පුහුණුවීම්වලදී පිටියේම වෙනත් පසෙක පොඩි මල්ලී කෙනෙක් අසාමාන්‍ය විදිහට පන්දු යවනවා දැක්කා.

එය මා විස්මයට පත් කළා. ජංගම දුරකතනයෙන් ඒක වීඩියෝ කරලා තත්පර 15ක ටික් ටොක් විඩියෝවක් ස්ලෝ මෝෂන් කරලා අන්තර්ජාලයට එක් කළා.

එය එක් දිනක් ඇතුළත නැරඹුම් වාර 10,000 පමණ වුණා. පළමු වැනි දින අදහස් දැක්වීම් 20ක් පමණ තිබුණත් දවසින් දවස ඒ සඳහා ඉහළම ප්‍රතිචාර ලැබෙන්න ගත්තා.

සති තුනක් ඇතුළත මගේ විඩියෝව නැරඹුම් වාර ගණන 815,703 වුණා. අදහස් දැක්වීම් ගණන ක්‍රමයෙන් වැඩි වුණා. ටික දවසක් යද්දි 288 ක් වුණා.

ශෙයා කළ සංඛ්‍යාව 24,718ක්. දෙනෙත් මල්ලිගේ වීඩියෝව බලා ලසිත් මාලිංග සර් අදහස් දක්වා විඩියෝවක් නිකුත් කිරීම සිදු වුණේ ඊට පස්සෙ.

මම මාලිංග සර්ටත් කතා කරලා සේරම විස්තර යැවුවා. දෙනෙත් මල්ලිගේ ක්‍රිකට් හපන්කම් ගැන විස්තර මාධ්‍යවල පළ වූයේ මම ගත් විඩියෝව සහ එය මගේ සමාජ මාධ්‍යවල ප්‍රචාරය වූ නිසා.

සිදු වූ දේ අදහා ගන්නත් බැහැ. මෙවැනි උතුම් ක්‍රියාවකට මට දායක වෙන්න ලැබීම අතිශයින්ම සතුටක්.

මාලිංග සර්ට සහ මෙය ශෙයාර් කළ දහස් ගණන් පිරිසට ස්තූතියි. දකුණෙන් ක්‍රිකට් තරුවක් අනාගතයේදී රටට බිහි වෙන්න කියලයි මගේ එකම ප්‍රාර්ථනාව!

ලසිත් මාලිංග..

ලසිත් මාලිංග සිය සමාජ මාධ්‍ය ගිණුම හරහා දැක්වූ අදහස් ‘සමාජ මාධ්‍ය හරහා දුටු වීඩියෝවක් නිසා මට මගේ පුංචි කාලේ මතක් වුණා.

ඒ නිසා මුලින්ම මං කියන්න ඕනේ මේ විඩියෝව මමත් ශෙයා කරන්න හේතුවක් වුණේ ඒක.

කොහොම හරි මට මේ දරුවා ගැන මේ වෙනකොට හොයාගන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. මම දැක්කා ඔහුගේ මෙම පන්දු යවන විලාසය ඇත්තටම හරිම නැචුරල්.

ඔහු ඒ වීඩියෝ ක්ලිප් එකේ පන්දු යවන විදිහ, ඔහු දුවගෙන එන විදිහ හා ඔහු පන්දුව යන්න කලින් කොහොමද ජම්ප් කරන්නේ, කොහොමද ලෑන්ඩ් කරන්නේ පන්දු යැවුවට පස්සේ පිටිපස්සේ කකුල කොහොමද හසුරුවන්නේ, පන්දු යැවීමෙන් අනතුරුවත් පිතිකරු දෙසට කොහොමද ඔහුගේ ඔළුව යොමු කරන්නේ කියන කාරණය ඇතුළු බොහෝ දෙයක් කිසිදු පුහුණුවක් නොමැතිව කවුරුවත් කියලා දෙන්නේ නැතිවම මේ දරුවා අනුගමනය කරනවා.

ඒ වගේ දක්ෂතාවක් හරිම අමාරුයි පුහුණුකරුවකුට වුණත් පුහුණු කරන්න.

තමන්ට ලෙදර් බෝලයකුත් නැතිව ටෙනිස් බෝලයකින් මෙහෙම දක්ෂතාවක් දැක්වීම ඇත්තටම සුවිශේෂි පිහිටීමක්.

මමත් එදා ක්‍රීඩා තරගයකට ගියාම බලාගෙන හිටියා මටත් පන්දු යවන්න අවස්ථාවක් ලැබෙනකම්.

එදා මං ක්‍රීඩකයෙක් ලෙස කටයුතු කළත් අද මං පුහුණුකරුවකු ලෙස පන්දු යවන කෙනෙකුගෙන් බලාපොරොත්තු වෙන ගුණාංග ටිකක් තියෙනවා.

ඒ නිසා තමයි මං මේ දරුවව හොයන්න ගත්තේ. සෙරෙප්පු දෙකක් නැතිව, ඕනම අවුවක, ඕනම ගල් ගොඩක තරගයකට ගිහින් පන්දුවක් යවන්න අවස්ථාවක් ලැබෙනකම් බලාගෙන හිටිය අවස්ථා මටත් මගේ ජීවිතයේ තිබුණා.

ඒ නිසාම කට්ට කාලා ඕනම අවුවකට වැස්සකට අනුවර්තනය වෙලා සෙල්ලම් කරන්න පුළුවන්වීම තමන්ටම ලැබෙන ආවේණික දෙයක්. දැන් මට ඔහු හමුවෙලා තියෙනවා.

දැන් මේ වෙනකොට ඔහු ක්‍රිකට් හදාරන්නේ නෑ කියලා මට දැනගන්න ලැබුණා. ඉතින් දැන් ඔහුට පළමුවෙන්ම කළ යුත්තේ ක්‍රිකට් ක්‍රීඩාව උගන්වන පාසලකට යොමු කිරීම.

මං ඒ මවුපියන් එක්ක කතා කළා මේ ගැන. ඔවුන් මට කිවුවා ක්‍රිකට් උගන්වන්න ළඟම තියෙන පාසල තමයි දෙබරවැව ජාතික පාසල කියලා.

කවුරුත් දන්න සුරංග ලක්මාල් බිහි වුණෙත් දෙබරවැව ජාතික පාසලෙන්. ඉතින් මං මවුපියන්ගෙන් ඇහුවේ මං දරුවා එම පාසලට යොමු කරලා දුන්නොත් ඔයාලට හැකිද දරුවා ගේන්න ගෙනියන්න කියලා.

ඒ වෙලාවේ මවුපියන් අපිට කිවුවේ ඔව් අපිට පුළුවන් දරුවා පාසලට එක්ක ගෙන යන්න එන්න කියලයි.

ඒ අනුව මං බලාපොරොත්තු වෙනවා පළමු පියවර විදියට දරුවා ක්‍රිකට් තිබෙන පාසලකට යොමු කරන්න.

අම්මා තාත්තා ඇසුරේ ඉඳගෙන තමයි පළමුවෙන්ම මේ කටයුතු වෙන්න ඕනේ. ඒකයි ළඟම තියෙන පාසලක් හොයා ගත්තේ.

මොකද මේ වෙනකම් මේ දරුවා ලෙදර් බෝල් වලින් නෙමේ සෙල්ලම් කරන්නේ.

ඔහුගේ ඉරියව් විතරයි අපි දැකලා තියෙන්නේ. ඒ වගේම කියන්න ඕනේ ඔහු ලසිත් මාලිංග විදිහට නෙමේ පන්දු යවන්නේ.

මම දැක්ක විදිහට ඔහු ඔහුටම ආවේණික විදිහකටයි පන්දු යැවීම සිදු කරන්නේ.

සමාජ මාධ්‍ය හරහා ගොඩක් දෙනෙක් වැරැදි අර්ථකතන දීලා තිබුණා ඔහු ලසිත් මාලිංග විදිහටමයි පන්දු යවන්නේ කියලා.

ඒක වැරැදියි. කිසිසේත්ම ඔහු ලසිත් මාලිංග විදියට නෙමේ පන්දු යවන්නේ.

ඔහු ඊටත් වඩා හොඳ ඉරියව්වකින් පන්දු යවන ක්‍රීඩකයෙක් කියලයි මට හිතෙන්නේ.

ඒ නිසා ඔහු ක්‍රිකට් ක්‍රීඩාවට යොමු කරලා ඉදිරි වසර දෙක තුන යනකොට බලමු ඔහු කොහොමද මේ ක්‍රීඩාවට දක්වන දස්කම් කියලා.

ඒ අනුව තමයි ඉදිරිය තීරණය වෙන්නේ ක්‍රීඩාව පිළිබඳව. ඉතින් ඔහු තවම කුඩා දරුවෙක්.

සමාජ මාධ්‍යවලින් මං ඉල්ලීමක් කරනවා මේ දරුවව වැරැදි විදිහට යොදා ගන්න එපා කියලා තව දුරටත්.

මොකද ඔහුට ඉගෙන ගන්න තව බොහෝ දේ තිබෙනවා. අධ්‍යාපනයත් එක්කයි ඔහුට මේ ගමන යන්න තියෙන්නේ.

තව සතියකින් මාසයකින් මේ දරුවට ලංකා ටීම් එකට සෙල්ලම් කරන්න වෙන්නේ නෑ.

ඒ නිසා අපි ඒ දරුවට උදවු කරමු.

මීට අදාල විශේෂ ඡායාරූප කිහිපයක් පහතින් දැක්වේ,👇

උපුටා ගැනීම : සිළුමිණ පුවත්පත.

GalleryGalleryGalleryGalleryGalleryGallery