බොරතෙල් මිල යළිත් ඉහලට..! ඉන්ධන ගැටලුවේ මෙරට තත්ත්වය මෙන්න..
ලෝක වෙළඳපොලේ ඛනිජ තෙල් මිලෙහි ඉහළ යෑමක් අද දක්නට ලැබුණු අතර, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 3කින් පමණ ඉහළ ගොස් සටහන් වූයේ ඩොලර් 111යි ශත 37ක් ලෙසයි.
ඇමරිකානු ඩබ්ලිව්.ටී.අයි. තෙල් බැරලයක මිල ඩොලර් 108 යි ශත 24 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මේ අතර,මීරිගම නගරයේ ඉන්ධන පිරවුම් හලක් අසල පෝලිමේ සිට ඉන්ධන ලබාගෙන ආපසු යාමට සූදානම් වූ පුද්ගලයකු ඇද වැටී රෝහල්ගත කිරීමේ දී මියගොස් ඇතැයි මිරිගම පොලීසිය පවසනවා.
ත්‍රී රෝද රථයකින් පැමිණි පුද්ගලයකු පෝලිමේ සිට කෑන් තුනකට ඉන්ධන ලබාගෙන ඇති අතර අනතුරුව එම පුද්ගලයා කෑන් දෙකක් රැගෙන ගොස් තිරෝද රථයෙහි තබා ඇත. තුන්වෙනි කෑන්එක රැගෙන යමින් සිටියදී ඔහු එක්වරම බිම ඇද වැටීමෙන් පසු ඒ අසල ආරක්ෂක රාජකාරි යෙදී සිටි පොලිස් නිලධාරීන් යුහුසුළුව මීරිගම මූලික රෝහලට ඇතුළත් කර ඇත.
රෝහලට ඇතුළත් කරන පුද්ගලයා ඒ වන විටත් මිය ගොස් ඇති බව හෙළි වී තිබේ. මේ අතර නිට්ටඹුව හොරගොල්ල ඉන්ධන පිරවුම් හලේ පෙට්‍රල් ලබා ගැනීම සඳහා පෝලිමේ රැදී සිටි යතුරු පැදිකරුවෙකු සහ ත්‍රිරෝද රථ රියදුරකු අතර ඇති වූ බහින් බස් වීමකින් අනතුරුව ත්‍රීරෝද රථ රියදුරු විසින් එල්ල කරන ලද තියුණු ආයුධ ප්‍රහාරයක් හේතුවෙන් යතුරු පැදිකරු මියගොස් ඇති බව නිට්ටඹුව පොලිසිය සඳහන් කළා.
මෙලෙස මියගොස් ඇත්තේ 29 හැවිරිදි තරුණයෙකුයි. පෙට්‍රල් පෝලිමේ රැඳී සිටි මේ දෙදෙනා අතර අදාළ බහින්බස් වීම ඇතිවී තිබෙන්නේ පෝලිම පැනීමක් සම්බන්ධයෙන්. සිද්ධි සම්බන්ධයෙන් නිට්ටඹුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වන අතර ත්‍රීරෝද රථ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ අතර ඉන්ධන ලබාගැනීම සඳහා කඩවත නගරයේ සිපෙට්කෝ පිරවුම්හලක පෝලිමේ රැඳී සිටි වයෝවෘද්ධ පියෙකු හදිසියේ ඇදවැටී ඊයේ (20) ජීවිතක්ෂයට පත්වුණා. ඔහු 70 හැවිරිදි මාකොළ ප්‍රදේශයේ පදිංචිව සිටි දොන් එඩ්මන්ඩ් රිචඩ් පෙරේරා නැමති ත්‍රිරෝද රථ රියදුරෙක් බවටයි අනාවරණය වුණේ.
මියගිය පුද්ගලයාගේ බිරිඳට පොලීසියෙන් කළ දැනුම්දීම මත එම ස්ථානයට පැමිණ සිටි අතර, ඇය එම අවස්ථාවේ දී සිය සැමියා මියගොස් ඇතැයි විශ්වාස කර තිබුණේ නැහැ. එහි සිටි සියලුදෙනාට ඇය සඳහන් කර සිටියේ, දියවැඩියාව සඳහා බෙහෙත් පාවිච්චි කරන සිය සැමියා ක්ලාන්ත තත්ත්වයෙන් ඒ වනවිට පසුවුණ බවයි. "සීනි, පපුවේ අමාරුව තිබුණා.
ඒවට බෙහෙත් ගන්නවා." කෙසේවෙතත් පොලීසියේ සහාය ඇතිව, ඇය මියගොස් සිටි සැමියාගේ දේහය ත්‍රිරෝද රථයක දමාගෙන රාගම රෝහල වෙතට රැගෙන යෑමට කටයුතු කළේය. මියගොස් සිටි සැමියාව එලෙස ත්‍රිරෝද රථයට දමා ගත් ඇය විටින් විට සිරුර හොල්ලමින් සිහිය ගැනීමට උත්සහ කරන අයුරු සංවේදී සිදුවීමක් බවට පත් වුණා.
එම ස්ථානයට රැස්ව සිටි බොහෝදෙනාට එය ඉතා සංවේදී අවස්ථාවක් ද වුණා. මෙවැනිම සිදුවීමක් මහනුවර යටිනුවර වීදියේ භූමිතෙල් පෝලිමකින් පෙරේදා (19) වාර්තා වූ අතර එහිදී පෝලිමේ සිටි 71 හැවිරිදි පුද්ගලයෙකු ඇදවැටී ජීවිතක්ෂයට පත්ව තිබුණි. මෙලෙස මිය ගිය පුද්ගලයාගේ මරණය සිදුව ඇත්තේ ප්‍රධාන ධමනියක් පුපුරා යාමෙන් බව මහනුවර ජාතික රෝහල ප්‍රකාශ කළා.
ඊයේ(20) සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී ඒ බව තහවුරු වූ බවයි එහි අධ්යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර සඳහන් කළේ. භූමිතෙල් ලබා ගැනීම සදහා ඉන්ධන පෝලිමක රැදී සිටියදී පෙරේදා පස්වරුවේ මොහු සිහිසුන්ව ඇද වැටී ඇති අතර මහනුවර ජාතික රෝහලට රැගෙන යන විටත් මිය ගොස් තිබුණා.
තවදුරටත් මෙවැනි සිදුවීම් ඇති නොවීමට ඉවසීමෙන් කටයුතු කරන්නට වගබලා ගන්න. මෙවන් අපහසු කාලයක කෙනෙකුගේ ජීවිතයක් ආරක්ෂා කරගන්නට ඔබත් කාරුණික වන්න. එය ඔබෙත් රටේ අනාගතයේත් යහපතට හේතුවක් වේ!!!.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |