මෙරට තෙත් බිමක් හරහා ඉදිවන දැවැන්ත මන් තීරු 4 අධිවේගී මාර්ගය උසාවියෙන් අත්හිටුවයි..!

highway Thalangama R M Suhadharathna Baththaramulla Mahinda Maraweera
By Sewvandhi Feb 22, 2022 01:52 AM GMT
Report

තලංගම තෙත් බිම හරහා මංතීරු 4කින් යුත් අධිවේගී මාර්ගයක් ඉදිකිරීම වළකාලමින් අභියාචනාධිකරණය අද අතුරු නියෝගයක් නිකුත් කළේය.

මෙම පෙත්සම විභාග කර අවසන් වන තුරු අදාල අතුරු නියෝගය බලාත්මක වන බවද අභියාචනාධිකරණය නියම කළේය.

මෙම අතුරු නියෝගය නිකුත් කළේ තලංගම ප්‍රදේශයේ පදිංචි කරුවකු අභියාචනාධිකරණය හමුවේ ගොනු කරනු ලැබ තිබූ රිට් පෙත්සමක් අභියාචනාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා මහතා හමුවේ අද (21) සැලකිල්ලට ගත් අවස්ථාවේදීය.

තලංගම බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචි ආර්. එම්. සුහදරත්න මහතා ගොනු කරනු ලැබ තිබූ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර , මධ්‍යම පරිසර අධිකාරිය ඇතුළු එකොලොස් දෙනකු නම් කර ඇත.

ජාතික පරිසර පනතේ 24 (04) වගන්තිය සහ ජාතික තෙත්බිම් ප්‍රතිපත්තිය පිළිබඳ අධිකරණයේ අවධානය යොමු කරමින් මෙම නියෝගය ලබාදුන් බව මෙම රීට් පෙත්සම සම්බන්ධයෙන් අභියාචනාධිකරණය නිකුත් කළ නියෝගයේ සඳහන් වේ.

මෙම ව්‍යාපෘතියට අදාළ පරිසර ඇගැයීම් වාර්තාව ද ලබාගෙන නොමැති බැවින් තලංගම තෙත් බිම හරහා මංතීරු 4කින් යුත් අධිවේගී මාර්ගයක් ඉදිකිරීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන බවද එම නියෝගයේ දැක්වේ .

මෙම රිට් පෙත්සම විභාග කර අවසන් වනතුරු බලපැවැත්වෙන පරිදි මෙම නියෝගය නිකුත් කරන බව ද අභියාචනාධිකරණය අදාල නියෝගයේ සඳහන් කර ඇත. 

 තලංගම තෙත්බිමේ පරිසර පද්ධතියට හානිවන අන්දමින් මංතීරු 4කින් යුත් අධිවේගී මාර්ගයක් ඉදිකිරීම වළකාලමින් අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත්, එම තීරණය බල රහිත කරමින් රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු මෙම පෙත්සමෙන් ඉල්ලා තිබිණි.

පෙත්සම්කරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා සහ නීතිපතිවරයා වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ සුරංග විමලසේන මහතා අධිකරණය හමුවේ පෙනී සිටියහ.   



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now