උදය ගම්මන්පිලගේ විදෙස් තහනම ගැන නවතම උසාවි නියෝගය..

colombo sri lanka passport court order Udaya Gammanpila
By Sewvandhi Jan 11, 2022 07:46 AM GMT
Report

ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයෙකුට අයත් සමාගම් කොටස් විකුණා රුපියල් මිලියන 20ක මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා එල්ල වී සිටින අමාත්‍ය උදය ගම්මන්පිල මහතා වෙත පනවා තිබෙන විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබේ.

උදය ගම්මන්පිල මහතා සිය නීතිඥවරු මාර්ගයෙන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා විසින් එය එම නියෝගය ලබාදුන්නේය. 

 විත්තිකාර ගම්මන්පිල අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට කරුණු දක්වමින් තම සේවාදායකයාට පුද්ගලික සංචාර දෙකක් හා රාජකාරිය සංචාර දෙකක් සඳහා විදේශගත වීමට අවශ්‍ය ව තිබෙන බව දන්වා සිටියේය.

ඒ අනුව තම සේවාදායකයාට පනවා තිබෙන විදේශ ගමන් තහනම ජනවාරි මස 23 වනදා සිට අප්‍රේල් මස 29 දක්වා කාලය තුළ ඉවත් කරන ලෙස ද නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා අදාළ කාලසීමාව තුළ විත්තිකාර ගම්මන්පිල මහතාට පණවා තිබූ විදේශ ගමන් තහනම ඉවත් කිරීමට නියෝග කළ අතර අධිකරණය භාරයේ පවතින ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය තාවකාලිකව මුදා හදාහරින ලෙසත් නියෝග කළේය.

බ්‍රයන් ෂැඩික් නැමැති ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයකුට අයත් සමාගම් කොටස්, ව්‍යාජ ඇටෝර්නි බලපත්‍රයක් සකස් කොට විකුණා රුපියල් මිලියන 20ක මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් ඉකුත් යහපාලන රජය සමයේ අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව එම නඩුව ගොනුකර තිබුණි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now