මාව බොරු නඩුවකට ඇදල සිරගත කරන්න තැත් කරනවා – ඒත් මම නවතින්නේ නෑ.. [VIDEO]
අද (30) පාර්ලිමේන්තුවේදී පැවති සැසිවාරයේදී, පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතා ප්‍රශ්නගත බහාලුම් 323ක් නිදහස් කිරීම සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්, රටේ ජනතාවගේ අවධානයට ලක්වන බරපතල චෝදනා රැසක් ඉදිරිපත් කළේය. මෙම බහාලුම්වල අන්තර්ගතය සහ ඒවායේ ආනයනික ප්‍රභවය පිළිබඳ තොරතුරු තමන් සතුව ඇති බවත්, එම තොරතුරු හෙළි කිරීමට තමන් සූදානම් බවත්, නමුත් එසේ කිරීමෙන් තමන්ට එරෙහිව බොරු චෝදනා එල්ල කරමින් සිරගත කිරීමේ තර්ජනයක් පවතින බවත් ඔහු පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතා, තම ප්‍රකාශයේදී මෙසේ අදහස් දැක්වීය;
"මාව පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් කිරීමට එරෙහිව ආණ්ඩුව විසින් නඩුවක් ගොනු කර තිබෙනවා. ඒ ගැන මම උසාවිය හරහා බලාගන්නම්. එහෙත්, මට බියක් තිබෙනවා. මේ ප්‍රශ්නගත බහාලුම් 323 ඇතුළේ තිබුණේ මොනවාද, ඒවා කොහෙන්ද ආනයනය කළේ, කුමන රටවලින්ද ගෙනාවේ කියලා මට සම්පූර්ණ ලැයිස්තුවක් ලබා දෙන්න පුළුවන්. මම ඒ තොරතුරු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න සූදානම්. නමුත්, මා එම තොරතුරු හෙළි කළොත්, ආණ්ඩුව මාව මන්ත්‍රී ධුරයෙන් ඉවත් කරලා, හෙටම ගිහින් මත්ද්‍රව්‍ය චෝදනාවකට හෝ වෙනත් බොරු චෝදනාවකට මාව සිරගත කරනවාද කියලා මට සහතිකයක් ඕනේ. එහෙම සහතිකයක් ලැබුණොත්, මම ඒ බහාලුම්වල තිබුණු සියලුම තොරතුරු එළියට දාන්නම්. එහෙම නැත්නම්, මට වෙනත් රටකට පැනලා ගිහින් ඒ තොරතුරු එළියට දාන්න වෙනවා."
මන්ත්‍රීවරයා තම ප්‍රකාශයේදී ආණ්ඩුවට එරෙහිව බරපතල චෝදනා එල්ල කළේය. ඔහු පවසන පරිදි, ආණ්ඩුව විසින් ඔහුට එරෙහිව බොරු චෝදනා එල්ල කරමින්, ඔහුගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කිරීමට උත්සාහ කරන බවත්, එම උත්සාහය ඔහුව සිරගත කිරීමේ අරමුණින් සිදුවන බවත් ඔහු සඳහන් කළේය. එසේම, ආණ්ඩුව පොලිස් බලතල යොදා ගනිමින් තමන්ව අනිසි ලෙස බලපෑමට ලක් කරන බවත්, එවැනි බලපෑම් හේතුවෙන් තමන්ට බියක් ඇති වුවත්, තම ජීවිතය ගැන බියක් නොමැති බවත් ඔහු අවධාරණය කළේය.
"මම බය නැතිව කියනවා, මේ බහාලුම් 323 ඇතුළේ තිබුණු සෑම තොරතුරක්ම මට හෙළි කරන්න පුළුවන්. ඒත්, මම ඒ ටික හෙළි කළාම, මාව බොරු චෝදනාවකට සිරගත කරනවාද කියලා බයයි. ආණ්ඩුව මාව ඕනෑම නඩුවකට අදින්න බලාගෙන ඉන්නවා. දැන් පොලිස් බලතල ඔවුන් යටතේ තිබෙනවා. ඔවුන් හදන්නේ මාව මන්ත්‍රී ධුරයෙන් ඉවත් කරලා, බොරු චෝදනාවකට මාව ඇතුළට දාන්න. ඒත්, මම ඒ ගැන බය නෑ. මට තිබෙන්නේ ජනතාවට සත්‍ය හෙළි කිරීමේ වගකීමක්."