සමාගම් සහ සමිති ලියාපදිංචි කිරීමේ ගාස්තු ඉහළට
සමාගම් සහ සමිති ලියාපදිංචි කිරීම සඳහා අය කෙරෙන ගාස්තු සංශෝධනය කිරීමට රජය තීරණය කර තිබේ. ඒ සඳහා අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා හා සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා විසින් නිකුත් කර ඇත.
නව ගාස්තු සංශෝධනයට අනුව, සීමාසහිත පෞද්ගලික සමාගමක් ලියාපදිංචි කිරීමේ ගාස්තුව රුපියල් 4,600 සිට 5,200 දක්වා ඉහළ දමා තිබේ. සීමාසහිත පොදු සමාගමක් ලියාපදිංචි කිරීමේ ගාස්තුව රුපියල් 23,000 සිට 26,400 දක්වාත්, සීමාරහිත සමාගමක් ලියාපදිංචි කිරීමේ ගාස්තුව රුපියල් 17,250 සිට 19,800 දක්වාත් සංශෝධනය කර ඇත.
එමෙන්ම සමාගමක නාමයක් අනුමත කිරීම සඳහා අය කෙරෙන ගාස්තුව රුපියල් 2,300 සිට 2,600 දක්වා ඉහළ නංවා තිබේ.
සමිතියක් ලියාපදිංචි කිරීමේ ගාස්තුව රුපියල් 3,450 සිට 3,900 දක්වා ඉහළ දමා ඇති අතර, සමිති ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා අය කෙරෙන ගාස්තුව රුපියල් 1,725 සිට 1,900 දක්වා සංශෝධනය කර ඇති බව ගැසට් නිවේදනයේ සඳහන් වේ.