චීනයෙන් මෙරටට විශේෂ සහතිකයක්..

Gotabaya Rajapaksa Sri Lanka Economic Crisis Chinese Embassy in Sri Lanka Sri Lankan political crisis
By Sewvandhi Apr 25, 2022 01:41 PM GMT
Report

චීනය විසින් ශ්‍රී ලකාවට ලබාදෙන සහය එක් නිශ්චිත පක්ෂයක් හෝ ආණ්ඩුවක් පදනම් කරගෙන සිදු නොකරන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති චී චෙන්හොං ප්‍රකාශ කළා. බලයේ සිටින රජය කුමක් වුවත්, චීනය ශ්‍රී ලංකා ජනතාවට නිරන්තරයෙන් සහය පළ කරන බව ඔහු අවධාරණය කළා.

චීන තානාපතිවරයා මේ බව ප්‍රකාශ කළේ මෙරට මාධ්‍යවේදීන් පිරිසක් සමඟ අද පැවැත්වූ සාකච්ඡාවකදියි. ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් බිලියන 2.5 ක මූල්‍ය සහය ලබාදීම සඳහා වූ සාකච්ඡා මන්දගාමී වූයේ ලක් රජය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය පැතීම නිසා බවයි ශ්‍රී ලංකාවේ චීන තානාපති චී චෙන්හොං කියා සිටියේ.

විදේශ ණය පියවීම් තාවකාලිකව අත්හිටවූ ශ්‍රී ලංකාව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෙන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනක් සකස් කිරීමට අපේක්ෂා කරනවා. එහෙත් එවැනි ණය ප්‍රතිව්‍යුහගතකරණයක් ද්විපාර්ශවික ණය වැඩසටහන සඳහා ඉදිරියේදී බලපෑම් ඇති කරන බව චීනයේ අදහසයි.

ධනාත්මක ආකාරයෙන් ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා - චීන නිදහස් වෙළද ගිවිසුම පිළිබද සාකච්ඡා වට 6ක් මේ වන විට අවසන් වී තිබෙනවා. නිදහස් වෙළද ගිවිසුමෙන් වැඩි වාසි ලැබීම චීනයේ අපේක්ෂාව නොවන අතර එමගින් ශ්‍රී ලංකාවට ප්‍රතිලාභ රැසක් හිමි වන බවයි ශ්‍රී ලංකාවේ චීන තානාපති චී චෙන්හොං ප්‍රකාශ කළේ.

චීනයෙන් පමණක් නොව ලොව අන් සෑම දෙසකින්ම ඉහළ අයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව වඩාත් විනිවිදභාවයෙන් යුක්තව සාධාරණ අන්දමින් කටයුතු කරනු දැකීම චීනයේ අපේක්ෂාවයි.

චීන තානාපති චී චෙන්හොං වැඩිදුරටත් කියා සිටියේ පසුගිය වසරේ ජූලි මාසයේ සිට මේ වසරේ ජනවාරි මාසය දක්වා චීනය ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ඩොලර් මිලියන 500 ක් වටිනා ඉන්ධන මෙට්‍රික් ටොන් 730,000 ක් සපයා ඇති බවයි.

ශ්‍රී ලංකාව මෙතෙක් ගෙවීම් සිදුකර ඇත්තේ ඉන්ධන නෞකා හතකට පමණක් වන අතර, තවත් ඉන්ධන නෞකා 12 ක් සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 390 ක් ගෙවිය යුතු බවයි චීන තානාපතිවරයා පෙන්වා දුන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now