සියලු ගොවීන්ට පොහොර ලබාදෙන දිනය මෙන්න..රටටම සුබ ආරංචියක්..

Mahinda Amaraweera Sri Lanka
By Aruna Jun 09, 2022 05:02 AM GMT
Report

ඉන්දීය රජ‍ය විසින් ලබා දෙන යුරියා පොහොර මෙට්‍රික් ටොන් 65,000 ලබන මස පළමු සති දෙක තුළ ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බව කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

ඊයේ (08) පස්වරුවේ කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ඇති විදේශ ආධාර මත ක්‍රියාත්මක වන කෘෂිකර්ම ව්‍යාපෘතිවල ප්‍රගතිය විමසා බැලීමේ සාකච්ඡාවට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව එම නිලධාරින්ට පවසා සිටියේ.

එම පොහොර තොගය ඉන්දීය රජය විසින් ඔවුන්ගේ අවශ්‍යතා සඳහා ඕමානයෙන් ආනයනය කරන ලද තොගයක් වන අතර දැනට අපේ රටේ ගොවීන් මුහුණ දෙන පොහොර හිඟය සළකා බලා මෙම යුරියා පොහොර තොගය ලබා දීමට තීරණය කරනු ලැබුවා.

මෙම පොහොර තොගය ලැබුනු වහාම ඒවා ගොවි ජනතාවට බෙදා හැරීමේ කටයුතු දින දෙක තුනක් තුළ කෘෂිකර්ම අමා‍ත්‍යාංශයට අයත් ජාතික පොහොර ලේකම් ‍කාර්යාලය, කොමර්ෂල් පොහොර සමාගම, ලංකා පොහොර සමාගම ඇතුළු ජාලය මගින් ‍ ගොවි ජන මධ්‍යස්ථාන හරහා සිදු කිරීමට නියමිතයැයි ද අමාත්‍යවරයා කියා සිටියා.

මෙම යුරියා පොහොර තොගය මිටියක් රුපියල් 10,000ක වැනි මුදලකට ගොවීන් අතට පත් කිරීමට කටයුතු යොදා ඇති අතර ඒ සම්බන්ධව ගොවි ජන නියෝජිතයින් හා නිලධාරින් සමග සිදු කළ සාකච්ඡාවල දී එකඟත්වය පළ කළ බවත්, අමාත්‍ය මණ්ඩලය වෙත එම මිල ගණන් ඉදිරිපත් කළ විට ඊට කිසිවෙක් විරුද්ධත්වය පළ නොකළ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

කෙසේ වුවද මෙම පොහොර තොගය යල් කන්නයේ වී වගා කරන ගොවීන් වෙත නිකුත් කිරීමට කටයුතු යොදා ඇත.

එහෙත් අම්පාර වැනි ඇතැම් ප්‍රදේශවල ගොවීන් මේ වනවිට අස්වනු නෙළන බැවින් ඔවුන්ට මෙම යුරියා පොහොරවලින් ප්‍රයෝජනයක් නොවන බවත්, දැනට වගා කටයුතු ආරම්භ කර ඇති හා පැළ ගොයම සහිත කුඹුරු සඳහා යුරියා පොහොර යෙදීම මගින් ඉළක්ක අස්වැන්න ඉහළ නංවාගත හැකි බවත් අමාත්‍යවරයා අවධාරණය කර සිටියා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now