වීසා නිකුත් කරන ක්‍රමවේදයේ ආයතනයේ වෙනසක්.? - ඇත්ත නැත්ත මෙන්න.

Sri Lanka visa Department of Immigration & Emigration
By Wayomi Mar 29, 2024 09:08 AM GMT
Report

ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයන් සඳහා මෙතෙක් කලක් වීසා නිකුත් කළ ක්‍රමවේදයෙන් ඉවත් වීමටත්, එය පෞද්ගලික ආයතනයකට ලබාදීමේ සැලසුමක් ඇති බවත් ආගමන හා විගමන දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පසුගියදා සඳහන් කර තිබුනා.

කෙසේ වෙතත් ඒ, සම්බන්ධයෙන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පාලක ජනරාල් අයි.එස්.එච්.ජේ.ඉළුක්පිටිය නිල වශයෙන් ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

එහිදී ඔහු අවධාරණය කර සිටියේ මෙවැන්නක්,

* 1948 ආගමික හා විගාමික පනතින් විදේශිකයෙකු හට මෙරටට පැමිණීමේ වීසාවක් නිකුත් කිරීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙත පැවරී ඇති බලය හෝ එම කටයුතු, කිසිදු පෞද්ගලික ආයතනයක් වෙත පවරා නොමැති බව අවධාරණය කරමි.

* ඉදිරියේදී හදුන්වා දීමට යෝජිත නව වීසා ක්‍රමවේදය අනුව වීසාවක් ඉල්ලුම් කිරීම සඳහා දෙපාර්තමේන්තු පිරිවිතරයන් අනුව මාර්ගගත ඉල්ලුම්පතක් හා අදාල තොරතුරු සහිතව වෙබ් අඩවියක් සකස් කර පවත්වාගෙන යාම පමණක් අමාත්‍ය මණ්ඩල අනුමැතිය සහිතව පෞද්ගලික ආයතනයකට පවරා ඇති අතර, අදාල වෙබ් අඩවිය මඟින් වීසා ඉල්ලුම්පතක් යොමු වු විට ඒ සඳහා වීසාවක් නිකුත් කරන්නේද/ නොකරන්නේද යන බව තීරණය කරනු ලබන්නේද, වීසාව නිකුත් කිරීම සිදු කරනු ලබන්නේද, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් පමණක් වන අතර ඒ සඳහා වන වීසා ගාස්තු ද ඒ ආකාරයෙන්ම අය කිරීම සිදුවේ. ඒ අනුව අදාල පුවත්පත් වල පළවූ ආකාරයෙන් වීසා ගාස්තු ලෙස අය කරන මුදල් කිසිදු පෞද්ගලික ආයතනයක් වෙත පැවරීමක් හෝ විසා නිකුත් කිරීමෙන් දෙපාර්තමේන්තුව වෙත ලැබෙන ආදායමෙහි කිසිදු අඩුවීමක් සිදු නොවන බව අවධාරණය කරන අතර, මාර්ගගතව වීසා පහසුකම් සැලසීම සඳහා අදාල ආයතනය සේවා ගාස්තුවක් පමණක් අය කරන අතර, එයද අය කරනු ලබන්නේ වීසා ඉල්ලුම්කරුවන්ගෙනි.

* තවද මෙම ආයතනය මේ වන විට ලෝකයේ රටවල් ගණනාවක් සඳහා මෙම මාර්ගගත වීසා ඉල්ලුම් කිරීමේ ක්‍රමවේදයන් ක්‍රියාත්මක කරනු ලබන අතර, විදේශීය රටවල් ගණනාවක් සඳහා ශ්‍රී ලාංකිකයන් වීසා ඉල්ලුම් කිරීමේදී ද, එම ඉල්ලුම් කිරීමේ ක්‍රියාවලිය සඳහාද පහසුකම් සපයන ආයතනයකි.

* ඒ අනුව මේ සම්බන්ධයෙන් පුවත්පත් වල පළවී ඇති ආකාරයෙන් වීසා නිකුත් කිරීම සම්බන්ධයෙන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සතු බලතල අඩුවීමක් හෝ එම බලතල වෙනත් ආයතනයක් වෙත පැවරීමක් සිදු නොවන අතර, වීසා නිකුත් කිරීමෙන් ලැබෙන රජයේ ආදායම වෙනත් ආයතනයක් වෙත පැවරීමක් සිදු වී නොමැති බව දන්වා සිටිමි.  

වීසා නිකුත් කරන ක්‍රමවේදයේ වෙනසක්.?

වීසා නිකුත් කරන ක්‍රමවේදයේ වෙනසක්.?