චමුදිතගේ නිවසට එල්ල වූ ප්‍රහාරය පිළිබඳ නිවැරදි තොරතුරක් දෙන අයෙකුට ලක්ෂ 5ක මුදලක් (VIDEO)
හිරු ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ නිවසට එල්ල වූ ප්‍රහාරයට වගකිව යුතු අපරාධකරුවන් පිළිබඳ තහවුරු කරන ඔත්තුවක් ලබාදෙන අයෙකුට රුපියල් ලක්ෂ 5ක මුදල් ත්‍යාගයක් හිරු CIA පිරිනමන බව වාර්තා වනවා.
ඒ අනුව එවැනි නිවැරැදි තොරතුරක් වේ නම් කරුණාකර 0770322821 අමතන ලෙසයි හිරු CIA දැනුවත් කරන්නේ.
මේ අතර, හිරු ටී.වී. ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ නිවසට එල්ල වූ ප්‍රහාරයට සම්බන්ධ මැර පිරිස එම ප්‍රහාරය එල්ල කිරීම සඳහා මෝටර් රථය සහ යතුරුපැදිය පැමිණි මෙන්ම යළි පළාගිය මාර්ගය සොයා තවදුරටත් සී.සී.ටී.වී. දර්ශන ඔස්සේ විමර්ශන කරන බව පොලිසිය පවසනවා.
අදාළ වාහනය ස්පේසියා වර්ගයට සමාන වෑන් රථයක් බවට සී.සී.ටී.වී දර්ශන විශ්ලේෂණය කිරීමෙන් පසු සැක මතුව තිබුණා.
ඒ අනුව අදාළ සී.සී.ටී.වී දර්ශන වැඩිදුර විමර්ශන සඳහා කොළඹ විශ්වවිද්‍යාලය වෙත යොමුකිරීමටයි නියමිතව ඇත්තේ.
සිද්ධියට අදාළව ප්‍රදේශයේ සී.සී.ටී.වී කැමරා දර්ශන 26 ක් පමණ විමර්ශන නිලධාරින් ඊයේ වනවිට පරීක්ෂා කර තිබූ අතර, එහිදී අනාවරණ වී තිබුණේ එම මැර පිරිස ප්‍රහාරය එල්ල කිරීම සඳහා කොළඹ දෙස සිට පිලියන්දල මංසන්ධිය දක්වා පැමිණ ඇති බවයි.
එහිදී අදාළ වෑන් රථය පිලියන්දල පන්සල අසලින් යළි හරවා ජාලියගොඩ හන්දිය පසුකර ගමන් කරන ආකාරය ද නිරීක්ෂණය වී තිබුණා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් බුද්ධි නිලධාරින් ද ඇතුළුව පොලිස් නිලධාරින් 60 දෙනෙකුගෙන් පමණ සමන්විත විමර්ශන කණ්ඩායම් 9 ක් තවදුරටත් පරීක්ෂණ සිදුකරන බවයි උසස් පොලිස් නිලධාරින් සඳහන් කළේ.
හිරු ටී.වී. ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ පිළියන්දල - ගංඟාරාම පාරේ නිවසට මුහුණු ආවරණය කරගත් නාඳුනන කණ්ඩායමක් විසින් ප්‍රහාරයක් එල්ල කරනු ලැබුවේ පෙරේදා අලුයමයි.
මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු ගවේෂණය සඳහා හිරු සී.අයි.ඒ. කණ්ඩායමේ නියෝජිතයින් ද යොදවා තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |