සිපෙට්කෝ ඉන්ධන මිලත් ඉහලට..? මුදල් ඇමතිගෙන් ඇමතිගෙන් ප්‍රකාශයක්..!
අයි.ඕ.සී. සමාගම, මිල ඉහළ දැමූ අයුරින් ඉදිරියේදී සිපෙට්කෝ ඉන්ධන මිල ගණන්ද ඉහළ යනු ඇතැයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කළා.
මේ අතර, බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ අද (11) ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ උසස් නිලධාරීන් සමඟ සාකච්ඡාවක් පවත්වනු ලැබුවේ ද ඉන්ධන මිල ගණන් සම්බන්ධයෙන්. එහිදී නිලධාරීන් පෙන්වා දී ඇත්තේ සිපෙට්කෝ ඉන්ධන මිලද ඉහළ නැංවිය යුතු බවයි.
ලෝක වෙළඳපලේ ඉන්ධන මිල ඉහළ යෑමට සාපේක්ෂව මිල ඉහළ නොදැමීමෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මුහුණ පා ඇති අර්බුදය පිළිබඳව නිලධාරීන් අමාත්‍යවරයාගේ අවධානය යොමු කර තිබෙනවා.
කෙසේ වෙතත්, බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ කියා සිටියේ ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයෙන් සාකච්ඡාවක් ඉල්ලා ඇති නමුත් මෙතෙක් ඒ සඳහා වේලාවක් ලබාදී නොමැති බවයි.
ලංකා අයි.ඕ.සී. සමාගම ඊයේ (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සියලු වර්ගයේ ඩීසල් ලීටරයක් රුපියල් 75 කින් සහ පෙට්‍රල් ලීටරයක් රුපියල් 50 කින් ඉහළ නැංවීමට පියවර ගත්තා.
ඒ අනුව අයි.ඕ.සී. ඩීසල් ලීටරයක් මේ වනවිට රුපියල් 214 කට අලෙවි වන අතර, ඔවුන් පෙට්රල් ලීටරයක් මේ වනවිට අලෙවි කරන්නේ රුපියල් 254 කටයි. අයි.ඕ.සී. සමාගම ඉන්ධන මිල ඉහළ නැංවීමත් සමඟ ජනතාව සිපෙට්කෝ පිරවුම්හල් වෙත වැඩි වශයෙන් ඇදී යෑම හේතුවෙන් අද දිනයේදී ද පෝලිම් දැකගත හැකිවුණා.
මේ අතර, සිපෙට්කෝ මිල ද ඉහළ නැංවුවහොත් ඉන්ධන සහනාධාරයක් රජයෙන් අපේක්ෂා කරන බව බස් සහ ත්‍රීරෝද රථ සංගම් ප්‍රකාශ කළා. එසේ නොලැබුණහොත් රුපියල් 17 ක්ව පවතින අවම බස් ගාස්තුව රුපියල් 30 දක්වා ඉහළ නැංවීමට සිදුවනු ඇති බවයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ.
එසේම, සහනාධාරයක් ලබා නොදුනහොත් පළමු කිලෝමීටරයට අයකරන ගාස්තුව රුපියල් 80 දක්වා ඉහළ නංවන බව සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ සංගමයේ සභාපති ලලිත් ධර්මසේකර සඳහන් කළා.
කෙසේ වෙතත්, දැනටමත් ජනතාවට හැකි තරම් සහන ලබාදීමට කටයුතු කර ඇති බවයි ගම්පහ මහාධිකරණයේ අද පැවති නඩු විභාගයකට පෙනී සිටීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ කියා සිටියේ.
මේ අතර, ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ සාම්පූර්හි මෙගාවොට් 500 ක සූර්ය විදුලි බලාගාරයක් ඉදිකිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය, එන්.ටී.පී.සී. හෙවත් ඉන්දියාවේ ජාතික තාප බලශක්ති සංස්ථාව සමඟ අද හවුල්කාරීත්ව ගිවිසුමකට එළැඹුණා.
ඒ සඳහා අද පස්වරුවේ මුදල් අමාත්‍යාංශයේදී එම ගිවිසුමට අත්සන් කරනු ලැබුවේ විදුලිබල මණ්ඩලය වෙනුවෙන් එහි සභාපතිවරයා සහ උප සභාපතිවරයා මෙන්ම එන්.ටී.පී.සී. හෙවත් ඉන්දියාවේ ජාතික තාප බලශක්ති සංස්ථාවේ අධ්‍යක්ෂවරුන් දෙදෙනෙක්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |