මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා හදිසියේම ඉල්ලා අස්වෙයි
මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කර තිබේ.
ඔහු සඳහන් කළේ, දින කිහිපයකට පෙර යොමු කළ එම ඉල්ලා අස්වීමේ ලිපිය සම්බන්ධයෙන් මෙතෙක් ජනාධිපතිවරයාගෙන් පිළිතුරක් ලැබී නොමැති බවයි.
තවද, තම ඉල්ලා අස්වීම භාරගැනීම හෝ නොගැනීම පිළිබඳව ජනාධිපතිවරයා මෙතෙක් කිසිදු තීරණයක් දැනුම් දී නොමැති බවද මහාචාර්ය සරත් අබේකෝන් මහතා සඳහන් කළේය.
තමන් මෙම තීරණය ගෙන ඇත්තේ පෞද්ගලික හේතුවක් මත බවද ඔහු වැඩිදුරටත් පැවසීය. මහාචාර්ය සරත් අබේකෝන් මහතා මීට පෙර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ලෙසද සේවය කර ඇත.
මේ අතර, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් ධූරයද මේ වන විට පුරප්පාඩුව පවතින අතර, එම ධූරය දැරූ මංජුලා මඩහපොල මහත්මිය පසුගියදා විශ්‍රාම යාම හේතුවෙන් එම තනතුරේ වැඩබැලීම සඳහා මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම් ඉෂාන් විජේතිලක මහතා පත්කර තිබේ.