ලංකාවේ දරුවන් අතර පිළිකා අවදානම ඉහළට - වසරකට අලුතින් දරුවන් 1,000ක් ගොදුරට
උපතේ සිට වයස අවුරුදු 19 දක්වා වයස් කාණ්ඩයේ පසුවන ළමුන් සහ යොවුන් වියේ දරුවන් අතරින් වසරකට පිළිකා රෝගීන් 900ත් 1,000ත් අතර සංඛ්‍යාවක් මෙරටින් වාර්තා වන බව ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය සුරාජ් පෙරේරා මහතා පවසයි.
ජාතික පිළිකා මර්දන වැඩසටහනට සමගාමීව අද (09) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය දැනුවත් කිරීමේ වැඩසටහනකදී වෛද්‍යවරයා මේ බව සඳහන් කළේය.
එහිදී ළමුන් සහ යොවුන් වියේ පසුවන්නන් අතර වැඩි වශයෙන් හඳුනාගෙන ඇති පිළිකා අතර ලියුකේමියාව හෙවත් ලේ පිළිකාව, වසා ග්‍රන්ථි ආශ්‍රිත ලිම්ෆෝමා, මොළය ආශ්‍රිත පිළිකා, අස්ථි ආශ්‍රිත පිළිකා සහ ඇස් ආශ්‍රිත පිළිකා ප්‍රධාන වන බව වෛද්‍ය සුරාජ් පෙරේරා මහතා පෙන්වා දුන්නේය.
පිළිකා රෝගය කල්තියා හඳුනාගෙන නිසි ප්‍රතිකාර සඳහා යොමු වීමෙන් බොහෝ පිළිකා සාර්ථකව සුව කර ගැනීමේ ඉහළ හැකියාවක් පවතින බවද වෛද්‍යවරයා අවධාරණය කළේය.
ළමුන් සහ යොවුන් වියේ පසුවන්නන් අතර ඇතිවන පිළිකා සහ ඒ සඳහා ලබාදෙන ප්‍රතිකාර පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් සෑම වසරකම සැප්තැම්බර් මාසය ලොව පුරා “ළමා පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ මාසය” ලෙස සැමරේ.