සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ අයදුම්පත් කැඳවීම ඇරඹේ

Department of Examinations Sri Lanka G.C.E. (O/L) Examination Education Latest Headlines Sinhala news
By R.rishma Jun 27, 2026 06:48 AM GMT
Report

2025 (2026) අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් කැඳවීම ජූලි 08 දක්වා සිදුකරන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.

ඒ අනුව පාසල් සහ පෞද්ගලික අයදුම්කරුවන් සියලු දෙනාම තම අයදුම්පත් පෞද්ගලිකව මාර්ගගත ක්‍රමය ඔස්සේ ඉදිරිපත් කළ යුතු අතර, වෙනත් කිසිදු ක්‍රමයකින් අයදුම්පත් භාර නොගන්නා බව සඳහන් කර ඇත.

අයදුම්කරුවන් විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිස “අපගේ සේවා” යටතේ ඇති “විභාග තොරතුරු මධ්‍යස්ථානය” ඔස්සේ අයදුම්පත් ඉදිරිපත් කළ යුතුය. 

පද්ධතියට පිවිසීමේදී දැනටමත් පරිශීලක ගිණුමක් ඇති අය විභාග අංකය සහ ජාතික හැඳුනුම්පත් අංකය භාවිතා කළ යුතු අතර, නව පරිශීලකයන් ජාතික හැඳුනුම්පත් අංකය සහ ජංගම දුරකථන අංකය යොදා ලියාපදිංචි විය යුතු බවද දැනුම් දී ඇත.

අයදුම්පත සම්පූර්ණ කිරීමට පෙර තාක්ෂණික උපදෙස්, පොදු උපදෙස් සහ මාර්ගෝපදේශන වීඩියෝව හොඳින් අධ්‍යයනය කිරීම අත්‍යවශ්‍ය බව විභාග දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

නැවත සමීක්ෂණ ගාස්තුව එක් විෂයයක් සඳහා රුපියල් 200ක් වන අතර, එය ණය පත්, හර පත් හෝ තැපැල් කාර්යාල මගින් ගෙවිය හැකිය. 

ගෙවීම් සිදුකිරීමෙන් අනතුරුව අයදුම්පත PDF ගොනුවක් ලෙස බාගත කර සුරක්ෂිතව තබාගත යුතු අතර, ඒ පිළිබඳ කෙටි පණිවිඩ දැනුම්දීමක්ද ලැබෙනු ඇත.

එක් අපේක්ෂකයෙකුට එක් වරක් පමණක් මාර්ගගත අයදුම්පත ඉදිරිපත් කළ හැකි අතර, ගාස්තු ගෙවීමෙන් පසු මුදල් ආපසු ලබා නොදෙන බවද නිවේදනයේ සඳහන් වේ.

වැඩිදුර තොරතුරු සඳහා 1911 ක්ෂණික ඇමතුම් අංකය හෝ විභාග දෙපාර්තමේන්තුවේ නිල දුරකථන අංක වෙත සම්බන්ධ විය හැකිය.