මීගමුව බන්ධනාගාරය ප්‍රතිසංස්කරණය තෙක් මහමෝදර සහ පැරණි බෝගම්බර තාවකාලික බන්ධනාගාර ලෙස නම් කෙරේ

Negombo Prisons in Sri Lanka Latest Headlines Sinhala news Puwath.lk
By R.rishma Jul 09, 2026 09:50 AM GMT
Report

මීගමුව බන්ධනාගාරයේ පසුගිය ජූලි 05 සහ 06 යන දිනවල ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයෙන් අනතුරුව, එම පරිශ්‍රය තුළ රැඳවියන් රඳවා තැබීම නුසුදුසු බවට බන්ධනාගාර පරිපාලනය තීරණය කර තිබේ.

අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය සඳහන් කළේ, මීගමුව බන්ධනාගාර පරිශ්‍රය මේ වනවිට අපරාධ ස්ථානයක් ලෙස සලකා විමර්ශන කටයුතු සිදුකරන බවයි.

අදාළ සිද්ධියෙන් බන්ධනාගාර පරිශ්‍රයට දැඩි හානි සිදුව ඇති අතර, විමර්ශන කටයුතු සඳහා අවශ්‍ය ඉඩකඩ සැලසීමත්, රැඳවියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමත් අරමුණු කරගනිමින් එහි සිටි බොහෝ රැඳවියන් වෙනත් බන්ධනාගාර වෙත තාවකාලිකව මාරු කර යවා ඇත.

මීගමුව බන්ධනාගාරය ප්‍රතිසංස්කරණය කිරීම කඩිනමින් ආරම්භ කිරීමටත්, එම කාලය තුළ විමර්ශන කටයුතු නිසි පරිදි සිදු කිරීමටත් මෙම පියවර ගෙන ඇති බව අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

එමෙන්ම, පවතින බන්ධනාගාරවල සිර ඝනත්වය සහ රැඳවියන්ගේ සුබසාධනය සැලකිල්ලට ගනිමින්, අමතර රැඳවියන් පිරිසක් සඳහා තාවකාලික රැඳවුම් පහසුකම් සැලසීමේ අවශ්‍යතාව මතුව ඇති බවද එම නිවේදනයේ දැක්වේ.

ඒ අනුව, මීගමුව බන්ධනාගාරය ප්‍රතිසංස්කරණය අවසන් වන තෙක් මහමෝදර සහ පැරණි බෝගම්බර පරිශ්‍ර තාවකාලිකව බන්ධනාගාර ආඥා පනත යටතේ බන්ධනාගාර ලෙස ස්ථාපිත කිරීමට නියමයන් නිකුත් කර ඇති බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය පවසයි.