මියගිය පුංචි පුතුගේ දේහය සාරි වලින් ආවරණය කල මඩුවක - දේහය නිවසට ගැනීමට හොඳ නැති බව මව කියයි..

Heart Attack Funeral Latest Headlines
By Sewvandhi Jul 21, 2024 02:13 PM GMT
Report

හෘදයාබාධයකින් මියගිය නව හැවිරිදි දරුවෙකුගේ දේහය සාරිවලින් ආවරණය කළ තාවකාලික මඩුවක තැන්පත් කිරීමේ ශෝචනීය පුවතක් මාවනැල්ල අරණායක ප්‍රදේශයෙන් වාර්තා වේ.

අරණායක, සාමසර, එළඟිපිටිය ජනපදයේ නිවසක පදිංචිව සිටි කාවින්ද දිනේෂ් නමැති නව හැවිරිදි පුතු පසුගිය 4 වනදා මියගොස් ඇත්තේ කලක සිට පැවති හෘද රෝගී තත්ත්වයක් හේතුවෙනි.

දිනේෂ් ගේ මව වන 32 හැවිරිදි ජීවිකා ජයමිණි මහත්මිය පැවසුවේ සිය පුතුට වයස අවුරුදු 5ක් පමණ වන විට හදවත් රෝගය වැළඳුණු බවත් පසුව මාසිකව රෝහලේ සායනයට ගොස් ප්‍රතිකාර ලබා ගත් බවත්ය.

එසේ ප්‍රතිකාර ලබාගනිමින් සිටිය දී පසුගිය 4 වනදා පුතුගේ රෝගී තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් මාවනැල්ල මූලික රෝහල වෙත ඔහුව රැගෙන ගොස් තිබේ.

එහිදී රෝගී තත්ත්වය දැඩි ලෙස උත්සන්න වීමත් සමග දරුවා ව මහනුවර, පේරාදෙණිය රෝහල වෙත මාරුකර යවා ඇත. පසුව දරුවා රාත්‍රියේ 11ට පමණ මියගොස් තිබේ.

නමුත් ඔහුගේ මෘතදේහය දින 17ක් යනතුරු රෝහලෙන් දරුවාගේ භාරකාරයින් ලබා දී නැත. ඒ දරුවාගේ උප්පැන්න සහතිකය රෝහලට ඉදිරිපත් නොකිරීම හේතුවෙනි.

පසුව දරුවාගේ දේහය ලබා දී ඇත්තේ ඊයේ (20) පස්ව‍රුවේ දීය. මේ සම්බන්ධයෙන් මියගිය දිනේෂ් ගේ මවගෙන් විමසු විට ඇය පැවසුවේ සිය සැමියා තමන් අත්හැර දමා ගොස් ඇති බවත් එම නිසා දිනේෂ් පුතු‌ට මෙන්ම සිය දියණියන් දෙදෙනාට ද උප්පැන්නය සහතික ලබා ගැනීමට නොහැකී වූ බවය.

නමුත් උප්පැන්නය සාදා දෙන තුරු දිනේෂ් පාසල් ගොස් තිබුණි. කෙසේවෙතත් තම පුතුගේ දේහය නිවසට නොගැනීම සම්බන්ධ‍යෙන් ඇයගෙන් විමසූ විට ඇය පැවසුවේ තම පුතු මියගොස් දින 7ක් ගත වන දිනයේ දී ස්වාමීන් වහන්සේ නමක් නිවසට වඩම්මවා බණ දේශනා කර දානය දුන් බැවින් පුතුගේ දේහය නැවත නිවස තුළට නොගත් බවයි.

ආගමික වාතාවත් කළ පසු නැවත දේහය නිවස තුළට ගැනීමට හොඳ නැතැයි මතයක් පවතින බැවින් පුතුගේ දේහය නිවසින් පිටත තාවකාලික මඩුවක තැබූ බව ඇය පැවසුවාය.

සිය සැමියා අත්හැර යාමත් සමග ආර්ථික ගැටලු රැසක් ඇති වූ බවත් පසුව තමන් සිය මවගේ නිවස ට පැමිණි බවත් ඇය කීවාය. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ප්‍රදේශවාසීන් පැවසුවේ ගමේ සමිති ශාලාවේ පුතුගේ දේහය තැන්පත් කරන ලෙසට යෝජනා කළ ද එයට මියගිය පුතුගේ ඥාතීන් අකමැති වූ බවය.(උපුටාගැනීමක්)