ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර අහෝසි කිරීමේ පනතට කථානායකගේ සහතිකය

Ministry of Defense Sri Lanka Latest Headlines Jagath Wickramaratne Sinhala news Puwath.lk
By R.rishma Sep 23, 2026 07:03 AM GMT
Report

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සිය සහතිකය ඊයේ (22) සටහන් කළේය.

මෙම පනත් කෙටුම්පත පළමු වර කියවීම සඳහා 2026 අගෝස්තු 04 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබූ අතර, දෙවැනි වර කියවීමේ විවාදය සැප්තැම්බර් 09 වැනිදා පැවැත්විණි. අනතුරුව ඡන්ද විමසීමකින් තොරව පනත් කෙටුම්පත සම්මත විය.

2009 අංක 35 දරන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී පනත අහෝසි කිරීම සඳහා මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කර තිබේ. එම පනත මගින් 2009 වසරේදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර ස්ථාපිත කරනු ලැබූ අතර, සන්නද්ධ හමුදා සහ ආරක්ෂක අමාත්‍යාංශය අතර කටයුතු සම්බන්ධීකරණය ඇතුළු කාර්යයන් එම තනතුරට පැවරී තිබිණි.

නව පනත බලාත්මක වීමත් සමඟ 2009 අංක 35 දරන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී පනත අහෝසි වන අතර, ඒ අනුව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුරද අවසන් වේ.

එමෙන්ම, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයට අයත් සියලු චංචල හා නිශ්චල දේපළ, ආරක්ෂක විෂය පවරා ඇති අමාත්‍යවරයාගේ අමාත්‍යාංශය වෙත පැවරීමටද පනත මගින් විධිවිධාන සලසා ඇත.

ඒ අනුව, පනත් කෙටුම්පත 2026 අංක 22 දරන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී (ඉවත් කිරීමේ) පනත ලෙස බලාත්මක වේ.