උපපොළ 16කට බැටරි බලශක්ති ගබඩා පද්ධති - ඉදිකිරීම් අවසන් අදියරේ

Sri Lanka Latest Headlines Sinhala news NPP Government
By R.rishma Aug 10, 2026 09:40 AM GMT
Report

රට තුළ ඇති විදුලිබල සම්ප්‍රේෂණ උපපොළ 16ක් ආශ්‍රිතව ස්ථාපනය කිරීමට සැලසුම් කර ඇති වාණිජ මට්ටමේ බැටරි බලශක්ති ගබඩා පද්ධතිවල ඉදිකිරීම් කටයුතු මේ වන විට අවසන් අදියරට පැමිණ තිබේ.

අදාළ බැටරි පද්ධති මැයි සහ ජුනි මාසවලදී අවස්ථා තුනකදී කොළඹ වරාය හරහා මෙරටට රැගෙනවිත් ඇති බව සඳහන් වේ.

අනුරාධපුර උපපොළ ආසන්නයේ පෞද්ගලික සමාගමක් විසින් ඉදිකරනු ලබන බැටරි බලශක්ති ගබඩා ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු මේ වන විට 85%කින් පමණ අවසන් කර තිබේ.

දිවා කාලයේ සූර්ය බල පද්ධති මඟින් නිපදවන අතිරික්ත විදුලිබලය බැටරි තුළ ගබඩා කර, රාත්‍රී කාලයේ විදුලි අවශ්‍යතාව අනුව ජාතික විදුලිබල පද්ධතියට නැවත මුදාහැරීම මෙම ව්‍යාපෘතිවල ප්‍රධාන අරමුණයි.

මේ හරහා ජාතික විදුලිබල පද්ධතියේ ස්ථාවරත්වය පවත්වා ගැනීමට මෙන්ම රාත්‍රී කාලයේ ඩීසල් බලාගාරවලින් ලබාගන්නා විදුලිබල ප්‍රමාණය අවම කිරීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

එක් බැටරි බලශක්ති ගබඩා ව්‍යාපෘතියකින් මෙගාවොට් 10ක විදුලිබල ධාරිතාවක් ජාතික පද්ධතියට ලබාදීමට හැකි වන අතර, පාලන හා කළමනාකරණ කටයුතු බලශක්ති අමාත්‍යාංශයට අයත් National System Operator Ltd. (NSO) සමාගම විසින් සිදු කිරීමට නියමිතය.

අදාළ බැටරි පද්ධතිවල නඩත්තු කටයුතු එම ව්‍යාපෘති භාර සමාගම් වෙත පැවරෙන අතර, පරිසරයට අවම බලපෑමක් සහිත ස්ථාවර බලශක්ති සැපයුමක් ලබාදීම මෙහි අරමුණ වී තිබේ.

මේ අතර, තවත් උපපොළ 23ක් සඳහා බැටරි බලශක්ති ගබඩා පද්ධති ස්ථාපනය කිරීමට අවශ්‍ය ප්‍රසම්පාදන කටයුතු ද මේ වන විට සිදුකෙරෙමින් පවතී.

ව්‍යාපෘති ඉදිකිරීම් කටයුතු සිදුකරන සමාගම්වල බලධාරීන් සඳහන් කළේ, මෙම පද්ධතිවල ගබඩා කරන විදුලිබලය අවශ්‍යතාව අනුව ජාතික විදුලිබල පද්ධතියට මුදාහැරීම සැප්තැම්බර් මස මුලදී ආරම්භ කිරීමට හැකිවනු ඇති බවයි.

මෙම ව්‍යාපෘති මඟින් ලැබෙන ප්‍රතිලාභ ඉදිරියේදී පාරිභෝගිකයන් වෙත ලබාදීමට රජය කටයුතු කරමින් සිටින බව ද සඳහන් වේ.