නීතිඥ සංගමයේ විශේෂ මහ සභා රැස්වීම අද කොළඹදී
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විශේෂ මහ සභා රැස්වීමක් අද (29) පෙරවරු 11.00ට කොළඹ පිහිටි ශ්‍රී ලංකා නීතිඥ සංගම් මූලස්ථානයේදී පැවැත්වීමට නියමිතය.
නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජීව් අමරසූරිය මහතා සඳහන් කළේ, විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව ඉහළ නැංවීම සඳහා ආණ්ඩුව ගෙන යන යෝජනාව සම්බන්ධයෙන් ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බවයි.
මෙය කිසිදු පුද්ගලයෙකු හෝ විනිසුරුවරයෙකු ඉලක්ක කරගත් කරුණක් නොවන අතර, අධිකරණයේ ස්වාධීනත්වය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලධර්ම සහ මහජන විශ්වාසය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් වූ ජාතික වැදගත්කමකින් යුත් කාරණයක් බව ද ඔහු අවධාරණය කළේය.
එවැනි මූලික ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය වෙනස්කම් සිදු කිරීමේදී පුළුල් මහජන සහ පාර්ශ්වකරුවන්ගේ අදහස් විමසා, විනිවිදභාවයෙන් සහ නිසි ව්‍යවස්ථානුකූල ක්‍රියාපටිපාටියට අනුව කටයුතු කළ යුතු බව ද නීතිඥ රජීව් අමරසූරිය මහතා සඳහන් කළේය.
ඒ අනුව මෙම වැදගත් ජාතික කාරණය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සියලුම සාමාජිකයින් අද පැවැත්වෙන විශේෂ මහ සභා රැස්වීමට සහභාගී වන ලෙස ද ඔහු ආරාධනා කළේය.