හසීනාගේ පැමිණීමේ කතාවත් සමඟ බංග්ලාදේශ ජනාධිපති ඉල්ලා අස්වීමට සැරසෙයි
ධුරයෙන් නෙරපා හරින ලද හිටපු බංග්ලාදේශ අගමැතිනි ෂීක් හසීනා යළිත් බංග්ලාදේශයට පැමිණීමට සූදානම් වන බවට වාර්තා පළවීමත් සමඟ, ඇගේ සමීප හිතවාදියෙකු ලෙස සැලකෙන බංග්ලාදේශ ජනාධිපති මොහොමඩ් ෂහාබුද්දීන් ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
2024 වසරේ පැවති ශිෂ්‍ය විරෝධතා මර්දනය කිරීමේදී පුද්ගලයන් 1,400කට ආසන්න පිරිසක් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් ගොනු කර ඇති නඩු විභාගවලට මුහුණ දීම සඳහා යළිත් බංග්ලාදේශයට පැමිණෙන බව ෂීක් හසීනා රොයිටර් පුවත් සේවයට ප්‍රකාශ කිරීමෙන් දින කිහිපයකට පසු මෙම වාර්තා පළ වී තිබේ.
විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ, වෛද්‍ය ප්‍රතිකාර සඳහා තායිලන්තයේ රැඳී සිටින බංග්ලාදේශ පාර්ලිමේන්තු කථානායක හෆීස් උද්දින් අහමඩ් යළි දිවයිනට පැමිණීමෙන් අනතුරුව ජනාධිපති මොහොමඩ් ෂහාබුද්දීන් සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාරදීමට නියමිත බවයි.
නිල වශයෙන් සෞඛ්‍ය හේතූන් මත ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් කිරීමට ඉඩ ඇති අතර, පාලක බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය (BNP) ඇතුළු දේශපාලන පාර්ශ්වවලින් එල්ල වූ බලපෑම් ද එම තීරණයට බලපා ඇති බවට විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.