දුර දිග ගිය කේලම නිසා මිතුරෙකුට දිවි අහිමි වෙයි

Sri Lanka Sri Lanka Police Investigation Crime
By Sithumi Jan 19, 2023 02:12 PM GMT
Report

බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය මගින්, සිය මිතුරාව ඝාතනය කර වසරක් තිස්සේ සැඟවී සිටි පුද්ගලයෙකුව නුගේගොඩ බේකරියක සේවය කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ.

බේකරියක් තුළදී එම ඝාතනය සිදුකර ඇති අතර ඊට යොදාගත් උල් පිහිය වැල්ලම්පිටිය වෙන්නවත්ත ප්‍රදේශයේ අතහැර දමන ලද වැසිකිළි වළක සඟවා තිබියදී හමුවී ඇත.

එලෙස ඝාතනයට ලක්වී තිබුණේ පස්සර මඩෝල්සිම පදිංචිව සිටි මයිල්වානගම් ජේ. කුමාර් නම් 38 හැවිරිදි පුද්ගලයෙකි. ඝාතනයට ලක්වූ පුද්ගලයා කොලොන්නාව, මීතොටමුල්ල ප්‍රදේශයේ බේකරියක වසර කිහිපයක සිට සේවය කර ඇති අතර රැකියාවක් නොමැතිව සිටි සිය මිතුරාට එම ස්ථානයේම රැකියාවක් ලබාදීමට ඔහු බේකරිහිමියාව කැමති කරවාගෙන තිබූ බව පොලීසිය කියයි.

ඒ අනුව 2022 වසරේ ජනවාරි මාසයේදී සැකකරු එම බේකරියේ සේවයට පැමිණ ඇති අතර දෙදෙනාම එහි සේවය කරමින් සිට ඇතැයි විමර්ශනවලදී අනාවරණ වී ඇත. සැකකාර පුද්ගලයා බේකරිහිමිකරුගේ හිත දිනාගෙන මියගිය පුද්ගලයාට වඩා හොඳින් සේවයකිරීම සම්බන්ධයෙන් මාස කිහිපයක් ඉක්මයාමේදී මිතුරන් දෙදෙනා අතර යම් ආරවුලක් හටගෙන තිබූ බවද පොලීසිය පැවසීය.

එය නොරිස්සූ ඝාතනයට ලක්වූ පුද්ගලයා බේකරිහිමිකරුට කේලම් කියා සැකකරුගේ සේවය නතරකරවීමට කටයුතු කර තිබූ අතර බේකරියේ දෙදෙනකුට කිරීමට තරම් වැඩ නොමැති බැවින් සිංහල අවුරුද්දෙන් පසු සේවයට නොපැමිණෙන ලෙස බේකරිහිමිකරු සැකකරුට පවසා තිබූ බව පොලීසිය සඳහන් කළේය.

එය ඇසීමත් සමගම කෝපයට පත් සැකකාර පුද්ගලයා කිසිදු දෙයක් නොපවසා බේකරියෙන් පිටවී සිය ගමට ගොස් දින කිහිපයකට පසු එනම් අප්‍රේල් 22 වනදා දහවල් එකවරම බේකරියට නැවත පැමිණ මිතුරාට තර්ජනය කරමින්, "මට රස්සාව නැතිකළ උඹටත් මේ රස්සාව කරන්න මම ඉඩ දෙන්නේ නැහැ.. උඹව මම මරනවා" යැයි තර්ජනය කරමින් පිටවී ගොස් තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

එදිනම අලුයම එකට පමණ තාප්පයෙන් පැන බේකරිය තුළට කඩාවැදුණු සැකකරු වැඩනිමවී පුටුවක් මත තේ පානය කරමින් සිටි සිය මිතුරාට පිහියෙන් ඇන එම ස්ථානයෙන් පළාගොස් තිබූ බව පොලීසිය පැවසීය.

අනතුරුව ඔහු කලින් සේවය කළ වැල්ලම්පිටිය, වෙන්නවත්ත ප්‍රදේශයේ බේකරිහිමියා හමුවට ගොස් ඔහුට ලබාගැනීමට තිබෙන මුදල් ඉල්ලාගෙන ඝාතනයට යොදාගත් උල් පිහිය බේකරිය පිටුපස වැසිකිළි වළට විසිකර එම ස්ථානයෙන් ගොස් තිබේ.

අදාළ ඝාතනය සම්බන්ධයෙන් වැල්ලම්පිටිය පොලීසිය මගින් විමර්ශන සිදුකළ ද ඊට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගැනීමට නොහැකිවීමෙන් කඩිනමින් විමර්ශන සිදුකර ඝාතනයේ සැකකරු අත්අඩංගුවට ගන්නා ලෙස බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලලිත් අබේසේකර මහතා වෙත උපදෙස්දී තිබූ බව පොලීසිය කියයි.

ඒ අනුව බස්නාහිර පළාත් දකුණ දිසාව අපරාධ කොට්ඨාසයේ ඒකක 01 විමර්ශන භාර නිලධාරී, ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්. ඒ. එල්. මුණසිංහ මහතා වෙත යොමු කිරීමට පියවර ගෙන තිබිණි.

ඔහුගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන අතරවාරයේදී පොලිස් කොස්තාපල් (76495) ක්‍රිෂාන්ත නිලධාරියාට ලැබුණු සාර්ථක තොරතුරකට අනුව සැකකරු නුගේගොඩ ප්‍රදේශයේ බේකරියක සේවය කරමින් සිටියදී අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව පොලීසිය කීය.

සැකකරුගේ ප්‍රකාශ මත ඝාතනයට යොදාගත් උල් පිහිය වැල්ලම්පිටිය වෙන්නවත්ත ප්‍රදේශයේ බේකරියක් පිටුපස අත්හැර දමන ලද වැසිකිළි වළක තිබියදී අද (19) සොයාගැනීමට හැකිවූ බව වාර්තා විය. 47 හැවිරිදි සැකකරු පස්සර මඩෝල්සිම පදිංචිකරුවෙකි. සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now