හදුනා නොගත් වස්තු දෙකක් වෙඩි තබා බිම හෙළයි..අමෙරිකාවෙන් රතු එළියක්..

United States of America Canada
By Aruna Feb 12, 2023 06:00 AM GMT
Report

උතුරු අමෙරිකාවට ඉහළ ගුවන් සීමාවේ පාවෙමින් තිබූ හඳුනා නොගත් වස්තුවක් වෙඩි තබා බිම හෙලූ බව කැනඩාව පවසනවා.

කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ පැවසුවේ කැනේඩියානු ගුවන් සීමාව උල්ලංඝණය කළ අදාළ වස්තුවට වෙඩි ප්‍රහාර එල්ල කළේ කැනඩාවේ බටහිර ප්‍රදේශයේ යුකෝන් හිදී බවයි.

ඒ සඳහා කැනේඩියානු හා අමෙරිකානු ගුවන් හමුදාවට අයත් ප්‍රහාරක යානා සම්බන්ධ වූ බවයි කැනේඩියානු අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ.

කැනේඩියානු හමුදාව අදාළ හඳුනානොගත් වස්තුවේ කොටස් එක් රැස් කර ඒ සම්බන්ධයෙන් විශ්ලේෂණය කරනු ඇති බව ද කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ වැඩිදුරටත් සඳහන් කළා.

අමෙරිකාව ද පවසන්නේ අදාළ පියාසර වස්තුව සම්බන්ධයෙන් පැය 24 ක් පුරා නිරීක්ෂණය කළ බවයි.

මේ අතර ඇලස්කාවට අඩි 40,000 ක් පමණ ඉහළ අහසේ පාවෙමින් තිබූ හඳුනා නොගත් වස්තුවකට අමෙරිකාව වෙඩි තබා බිම හෙළා තිබෙනවා.

ධවල මන්දිරය පැවසුවේ, අමෙරිකානු ප්‍රහාරක ගුවන් යානයක් මගින් එම හඳුනා නොගත් වස්තුවට වෙඩි තැබූ බවයි.

මෙම සිදුවීම වාර්තා වුණේ චීනයට අයත් බැලූනයක් අමෙරිකාවේ ප්‍රහාරක යානයක් මගින් මිසයිල ප්‍රහාරයකින් බිම හෙළා දින 06 ක් ගතවීමෙන් අනතුරුවයි.

අදාළ පාවෙන වස්තුව කුමක්ද යන්න හෝ එහි අරමුණ කුමක්ද යන්න හඳුනා ගෙන නොමැති නමුත් සිවිල් ගුවන් ගමන් කටයුතු සඳහා තර්ජනයක් එල්ල විය හැකි බැවින් ඊට වෙඩි තැබූ බව ධවල මන්දිරයේ ජාතික ආරක්ෂක කවුන්සිලයේ මාධ්‍ය ප්‍රකාශක ජෝන් කර්බි පවසා තිබෙනවා.

අදළ පියාසර වස්තුවේ අයිතිය කා සතු ද යන්න මෙතෙක් හඳුනාගෙන නොමැති බව ද ධවල මන්දිරය ප්‍රකාශ කළා.

කෙසේවෙතත් එම වෙඩි තැබීම සිදු කළේ ජනාධිපති ජෝ බයිඩ්න් හමුදාවට ලබා දුන් නියෝගයකට අනුව බවයි ධවල මන්දිරයේ ප්‍රකාශකයා සඳහන් කළේ.

මෙම හඳුනා නොගත් වස්තුව චීන බැලූනයට සාපේක්ෂව කුඩා බවයි පැවසෙන්නේ.

එහෙත් එය කුඩා මෝටර් රථයක ප්‍රමාණයට සමාන බවත් ධවල මන්දිර ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now