ආසියාවේ දීර්ඝතම වාරි උමගේ කැනීම් අවසන්

Sri Lanka Sri Lanka Government Latest Headlines Sinhala news Puwath.lk
By R.rishma Jul 15, 2026 09:07 AM GMT
Report

උතුරු මැද මහ ඇළ ව්‍යාපෘතිය යටතේ ඉදිකෙරෙන දකුණු ආසියාවේ දීර්ඝතම වාරිමාර්ග උමගේ කැනීම් කටයුතු අද (15) නිල වශයෙන් අවසන් කර තිබේ.

කිලෝමීටර් 27.7ක දිගින් යුතු මෙම උමග මහවැලි මහ සැලැස්මේ අවසන් අදියර යටතේ ක්‍රියාත්මක උතුරු මැද මහ ඇළ ව්‍යාපෘතියේ ප්‍රධාන අංගයක් ලෙස සැලකේ.

මෙම ව්‍යාපෘතිය අවසන් වූ පසු උතුරු මැද සහ උතුරු පළාත්වල ජනතාවගේ පානීය ජල අවශ්‍යතා මෙන්ම කෘෂිකාර්මික ජල අවශ්‍යතා සපුරාලීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

1968 වසරේ ආරම්භ වූ මහවැලි මහ සැලැස්මේ ව්‍යාපෘති 1977 වසරේදී කඩිනම් මහවැලි වැඩසටහන යටතේ තවදුරටත් පුළුල් කර ක්‍රියාත්මක කෙරුණු අතර, උතුරු මැද මහ ඇළ ව්‍යාපෘතිය එහි අවසන් අදියරේ වැදගත් ව්‍යාපෘතියක් ලෙස සැලකේ.

මෙම උමගේ කැනීම් කටයුතු සඳහා විශේෂිත TBM යන්ත්‍ර දෙකක් යොදාගෙන ඇති අතර, පළමු කොටසේ කැනීම් 2022 වසරේදී අනුරාධපුර පලුගස්වැව - මහමීගස්වැව ප්‍රදේශයෙන් ආරම්භ කර තිබුණි.

දෙවන කොටසේ කැනීම් 2023 වසරේදී පොළොන්නරුව ඇලහැර - කොදුරුවාව ප්‍රදේශයෙන් ආරම්භ කර ඇති අතර, එම කැනීම් කටයුතු අද අවසන් කර තිබේ. මෙම අවස්ථාව සැමරීමේ උත්සවයක් අද පෙරවරුවේ අනුරාධපුර පලුගස්වැව ප්‍රදේශයේදී පැවැත්විණි. වාරි උමග ඔස්සේ උතුරු ප්‍රදේශයේ හෙක්ටයාර 74,000ක පමණ වගාබිම් සඳහා වාරි ජලය සැපයීමට නියමිතය.

එමෙන්ම වියළි කලාපයේ ජනතාව දිගුකාලීනව මුහුණ දුන් පානීය ජල ගැටලුවටද මෙම ව්‍යාපෘතිය මඟින් විසඳුමක් ලැබෙනු ඇති බව සඳහන් වේ. මෙමඟින් මිලියන 1.5කට ආසන්න ජනතාවගේ ජල අවශ්‍යතා සපුරාලීමට හැකි වන අතර, රජරට ප්‍රදේශයේ ජනතාව මුහුණ දෙන හඳුනා නොගත් වකුගඩු රෝගයට බලපාන ජල ගැටලු අවම කිරීමටද මෙය දායක වනු ඇතැයි අපේක්ෂා කෙරේ.