වෙළඳ රහස් අයථා ලෙස භාවිත කළ බවට Apple සමාගමෙන් OpenAIට නඩු

iPhone Apple Open AI Mobile Phones Sinhala news
By R.rishma Jul 11, 2026 08:03 AM GMT
Report

ලොව ප්‍රමුඛ තාක්ෂණික සමාගමක් වන Apple සමාගම, කෘත්‍රිම බුද්ධි තාක්ෂණ සමාගමක් වන OpenAI සහ එහි හිටපු සේවකයින් දෙදෙනෙකුට එරෙහිව වෙළඳ රහස් අයථා ලෙස භාවිත කළ බවට චෝදනා කරමින් නඩුවක් ගොනු කර තිබේ.

Apple සමාගම පවසන්නේ OpenAI විසින් පාරිභෝගික උපකරණ ක්ෂේත්‍රයට පිවිසීමේ අරමුණින් තම සමාගමේ රහසිගත නිර්මාණ තොරතුරු, නිෂ්පාදන ක්‍රියාවලි සහ අභ්‍යන්තර තොරතුරු ලබාගැනීමට උත්සාහ කළ බවයි.

මෙම නඩුව කැලිෆෝනියාවේ උතුරු දිස්ත්‍රික් අධිකරණයේ ගොනු කර ඇති අතර, හිටපු සේවකයින් බඳවා ගැනීම, සැපයුම්කරුවන් සමඟ සබඳතා සහ වෙනත් ක්‍රම හරහා තොරතුරු ලබාගත් බවට Apple චෝදනා කරයි. 

නඩුවේ නම් සඳහන් හිටපු Apple සමාගමේ සේවකයින් දෙදෙනා වන්නේ හිටපු ජ්‍යෙෂ්ඨ පද්ධති විදුලි ඉංජිනේරුවෙකු වූ Chang Liu සහ iPhone හා Apple Watch නිෂ්පාදන සැලසුම් අංශයේ හිටපු උප සභාපති Tang Yew Tan යන අයයි.

Apple සමාගම  චෝදනා කරන්නේ Chang Liu විසින් රහසිගත දෘඩාංග ලිපිගොනු ලබාගෙන ඇති බවත්, Tang Yew Tan විසින් සැපයුම්කරුවන් හා අභ්‍යන්තර කර්මාන්ත තොරතුරු ඇතුළු දත්ත OpenAI සඳහා ප්‍රයෝජනවත් වන ආකාරයෙන් භාවිත කර ඇති බවත්ය.

කෙසේ වෙතත්, OpenAI මෙම චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ. සමාගම සඳහන් කර ඇත්තේ වෙනත් සමාගම්වල වෙළඳ රහස් ලබාගැනීමට තමන්ට උනන්දුවක් නොමැති බවත්, ජනතාවට ප්‍රයෝජනවත් නව තාක්ෂණයන් නිර්මාණය කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇති බවත්ය.

OpenAI විසින් සාම්ප්‍රදායික ජංගම යෙදුම් සහ මෙහෙයුම් පද්ධතිවලින් ඔබ්බට ගොස් නව පාරිභෝගික උපකරණ නිෂ්පාදනය කිරීමට සැලසුම් කරන බවට වාර්තා පළ වී ඇත.

එවැනි උපාංග සාර්ථක වුවහොත් Apple හි ප්‍රධාන ආදායම් මාර්ගයක් වන iPhone වෙළඳපොළට බලපෑමක් ඇති විය හැකි බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

මෙම නඩුවේ වගඋත්තරකරුවන් ලෙස OpenAI Foundation, OpenAI Group PBC සහ පසුගිය වසරේ ඩොලර් බිලියන 6.5කට අත්පත් කරගත් io Products සමාගමද නම් කර තිබේ.

2024 වසරේදී Apple Intelligence සහ ChatGPT සේවාවන් සම්බන්ධයෙන් Apple සහ OpenAI අතර හවුල්කාරීත්වයක් පැවතියද, මේ වන විට දෙපාර්ශවය අතර තරගකාරී තත්ත්වයක් ඇති වී ඇති බව Apple පවසයි.