පොලිස් අත්අඩංගුවේ සිටි තවත් කාන්තාවක් ජීවිතක්ෂයට..!

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation
By Sewvandhi May 24, 2023 05:55 PM GMT
Report

අද (24) සවස 6:30 ට පමණ පානදුර උතුර පොලීසියේ පොලිස් නිලධාරීන් 04 දෙනෙකු පැමිණ වයස අවුරුදු 51ක කාන්තාවක් අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව වාර්තාකරු පවසනවා.

නිවසක නීතිවිරෝධී මත්පැන් ඇති බවට ලද තොරතුරකට අනුව පානදුර, දිග්ගල දෙල්ගහවත්ත පාර ප්‍රදේශයේ පොලීසියෙන් එම නිවස පරීක්ෂා කර තිබුණි. පසුව පොලීසිය විසින් අදාළ නිවසේ සිටි වයස අවුරුදු 51ක කාන්තාවක් රැගෙන ගොස් ඇත.

 අදාළ නිවස ආසන්නේ පදිංචිව සිටින එම කාන්තාවගේ සොහොයුරා පැවසුවේ, ඇය රෝගී තත්ත්වයෙන් පසුවන බවත් ඇයව රැගෙන නොයන ලෙස තමා ඉල්ලීමක් කළ බවය.

කෙසේවෙතත් පානදුර උතුර පොලීසියේ පොලිස් නිලධාරීන් 4 දෙනෙකු එම කාන්තාව පොලිස් කාන්තාවක් නොමැතිව ත්‍රීරෝද රථයක දමාගෙන රැගෙන ගොස් ඇත. වැඩිදුරටත් වාර්තා වුයේ අදාළ කාන්තාවට ත්‍රීරෝද රථය තුළදී අසනීප තත්ත්වය උත්සන්න වී ඇති බවය.

එහෙත් ඇයගේ අසනීප තත්ත්වය නොසලකා පොලිස් නිලධාරීන් ඇයව පොලීසිය ආසන්නයටම රැගෙන ගොස් ඇති බවද වාර්තා විය. ඉන් අනතුරුව එම කාන්තාවගේ ඥාති පුත්‍රයින් දෙදෙනෙකු පොලීසියේ ත්‍රීරෝද රථය පිටුපස පැමිණ ඇති අතර පොලීසිය අසලදී පොලිස් නිලධාරීන් ඔවුන්ට ප්‍රකාශ කර ඇත්තේ මෙම කාන්තාව අසනීප තත්ත්වයෙන් පසුවන බැවින් ඇයව රෝහලට රැගෙන යන ලෙසය.

ඒ අනුව ඥාති පුත්‍රයින් දෙදෙනා ඇයව තවත් ත්‍රීරෝද රථයක නංවාගෙන පානදුර මූලික රෝහලට රැගෙන ගොස් ඇත. කෙසේවෙතත් ඇයව රෝහල්ගත කරනවිටත් මියගොස් සිටි බව රෝහලෙන් දැනුම්දුන් බව ඔවුන් පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ නයනා රෝෂනී නමැති වයස අවුරුදු 51 වන විවාහක කාන්තාවකි. මේ අතර වැලිකඩ පොලීසියේදී ප්‍රකාශ සටහන් කරගන්නා අතරතුර රෝගාතුරවූ කාන්තාවක් රෝහල්ගත කිරීමෙන් පසුව මියයෑමේ සිද්ධිය මීට පෙර වාර්තා වී තිබුණි. එම සිද්ධිය සම්බන්ධයෙන් ද විමර්ශන ක්‍රියාත්මකය.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now