විදුලිබල පනත් කෙටුම්පතට එරෙහිව තවත් පෙත්සමක්..

Parliament of Sri Lanka Sri Lanka Parliament Government Of Sri Lanka Latest Headlines Decision Making
By Gagana May 08, 2024 02:23 PM GMT
Report

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන විදුලිබල පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි යැයි තීන්දු කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් පෙත්සමක් ඉදිරිපත් කර ඇත.

විදුලිබල පනත් කෙටුම්පතට එරෙහිව තවත් පෙත්සමක්.. | Another Petition Against The Electricity Bill

මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ ජාතික ජන බලවේගයේ බලශක්ති කමිටුවේ සාමාජිකයින් වශයෙන් කටයුතු කරන ඉංජිනේරුවන් වන පුණ්‍යා ශ්‍රී කුමාර ජයකොඩි සහ මයුර චන්දන නෙත්තිකුමාර යන අය වන අතර එහි වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා ද නම්කර තිබෙනවා.

එමෙන්ම, පෙත්සම්කරුවන් කියා සිටින්නේ යෝජිත පනත් කෙටුම්පත තුළින් විෂයභාර අමාත්‍යවරයාට අසීමිත බලයක් පවරා දී තිබෙන බවයි.

එබැවින්,විෂයභාර අමාත්‍යවරයාට අත්තනෝමතික තීන්දු තීරණ ගැනීමට අවස්ථාව සැලසෙන අතර එය විදුලිබල මණ්ඩලයේ පැවැත්මට යහපත් නොවන බවත් පෙත්සම්කරුවන් සඳහන් කළේය.

එමෙන්ම යෝජිත පනත් කෙටුම්පත හරහා විදුලි ගාස්තු අත්තනෝමතික ආකාරයට ඉහළ නැංවීමට බලය පවරාදී ඇති බවත් එය මහජන සුබසාධනයට එතරම් යහපත් නොවන බවත් ඔවුන් පෙන්වා දේ.

ඊට අමතරව, ලංකා විදුලිබල මණ්ඩලය යෝජිත පනත යටතේ සමාගම් කිහිපයකට වෙන් කෙරෙන බවත් ඒ තුළින් සේවකයින්ගේ වෘත්තිය සුරක්ෂිතභාවය බරපතළ ලෙස අභියෝගයට ලක් කෙරෙන බවත් පෙත්සමේ සඳහන් වෙයි.

ඊට අමතරව මෙම පනත් කෙටුම්පතට පාදක වන විදුලිබල විෂය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය යටතේ පළාත් සභාවලටද අයත් විෂයක් බැවින් මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට පෙර පළාත් සභාවල අනුමැතිය ලබාගෙන නොමැති බවත් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බවත් පෙත්සම්කරුවෝ සඳහන් කළහ.

කෙසේ වෙතත්, ඒ අනුව පෙත්සම්කරුවෝ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ අදාළ පනත් කෙටුම්පතේ අන්තර්ගත වගන්ති බොහොමයකින් මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනයවීමක් සිදුවන හෙයින් එම වගන්ති සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් හා ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙසයි.