ඉන්ධන මිල අඩු කිරීමක් නොව ජනතාවගෙන් ගසාකෑමක් - ආනන්ද පාලිත [VIDEO]
ඉන්ධන මිල සංශෝධනය රජයේ “සෙප්පඩ විජ්ජාවක්” බව සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගයේ ආනන්ද පාලිත මහතා පවසයි.
මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා සඳහන් කළේ, රජය සිදුකර ඇත්තේ ඉන්ධන මිල අඩු කිරීමක් නොව, ඉන්ධන මිල හරහා ජනතාවගෙන් මුදල් අය කර ගැනීමක් බවයි.
ආණ්ඩුව බලයට පැමිණීමට පෙර ජනතාවගෙන් කිසිදු ආකාරයකින් ගසාකෑමක් සිදු නොකරන බවට පොරොන්දු වූ නමුත්, මේ වනවිට පාරිභෝගිකයන් මත රුපියල් 50ක පමණ බරක් පැටවීමට කටයුතු කර ඇති බවට ද ඔහු චෝදනා කළේය.
“ගසාකෑමේ සූත්‍රය” ඉවත් කරන බවට ආණ්ඩුව ජනතාවට පොරොන්දු වූ බව සිහිපත් කළ ආනන්ද පාලිත මහතා, රජය වත්මන් ආර්ථික බර ජනතාව මත පැටවීමට කටයුතු කරමින් සිටින බවද පැවසීය.
තමන් ඇතුළු පිරිස ජනාධිපතිවරයා සමඟ එදා එක්ව සිටි බව සඳහන් කළ ඔහු, භාණ්ඩාගාරයේ පවතින බරද මේ වනවිට ජනතාව මත පැටවී ඇති බවට චෝදනා කළේය.
පිරිපහදුව හරහා ඉන්ධන ලබාදීමට කටයුතු කරන්නේ නම් මීටත් වඩා අඩු මිලකට ඉන්ධන ලබාදීමට හැකියාව ඇති බවද ආනන්ද පාලිත මහතා සඳහන් කළේය. මේ අතර, 22 වැනි සංශෝධනය සම්බන්ධයෙන් ද අදහස් පළ කළ ඒ මහතා, ඒ සඳහා තම කණ්ඩායම අධිකරණය වෙත පෙත්සම් ඉදිරිපත් කර ඇති බව පැවසීය. එවැනි තත්ත්වයක් තුළ අධිකරණ අමාත්‍යවරයා විසින් විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීම පමණක් නොව, දීමනා වැඩි කිරීම පිළිබඳවද ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ප්‍රශ්න මතුවන බව ඔහු සඳහන් කළේය.