පදක්කම්වලට එහා ගිය සටනක යකඩ හිතක්
මීටර 110 කඩුලු ඉසව්වේදී, මීටර 1.067ක් උසැති කඩුලු 10ක් කඩුල්ලක් අතර පියවර තුනක් බැගින් ගෙවා හරි හරියට තරණය කිරීම ලෙහෙසි වැඩක් නොවන නමුත් එය ජාත්යන්තර මට්ටමේ ධාවනයක් වන්නේය.
අප කථා නායකයා එවැනි ජාත්යන්තර මට්ටමේ ධාවනයකට වරම් ලබනු පිණිස, පැන ගිය කඩුලු, ධාවන පථයේ කඩුලුවලට වඩා බොහෝ අභියෝගාත්මක විය.
වරක් නොව, දෙවරක්ම මාරක කඩුලු ද පැන්නේය. නමුත් අධ්යාපන කඩුල්ලේ සිට ජාත්යන්තර කඩුලු දක්වා සියල්ල සාර්ථකව තරණය කළ ඔහුගේ අපූර්වත්වය කරළියට පැමිණියේ මෙවර පැවැති ආසියානු ක්රීඩා උළෙලේදීය.
මෙම ආසියානු ක්රීඩා උළෙලට සහභාගි වූ ශ්රී ලංකා පිරිමි මීටර් 100 සහාය දිවීමේ කණ්ඩායමේ එක් ක්රීඩකයකු ආබාධයකට ලක්වීම හේතුවෙන් සෙසු ක්රීඩකයන් තිදෙනා පත් වූයේ උභතෝකෝටිකයකටය. මෙම කණ්ඩායමට අතිරේක ක්රීඩකයකු නම් කර නොතිබූ අදූරදර්ශී පරිපාලකයන් හේතුවෙන් ජාත්යන්තරය හමුවේ විහිළුවක් වීමට නියමිතව තිබූ ශ්රී ලංකා නාමයත්, සිය සගයන්ගේ බලාපොරොත්තුත් රැක ගැනීම වෙනුවෙන් ස්වේච්ඡාවෙන්ම එම ඉසව්වට ඉදිරිපත් වූ ක්රීඩකයාගේ ක්රියාකලාපය පිළිබඳ කාගේත් අවධානයට යොමු විය.
මූලික වටය සඳහා ධාවන පථයට පිවිසීමට හෝ නොහැකිව සිටි ශ්රී ලංකා සහාය දිවීමේ කණ්ඩායමට, ඔහුගේ එම පරාර්ථය හමුවේ, අවසන් තරගය සඳහා ද සුදුසුකම් ලබාගැනීමට හැකි විය. අවැසිම මොහොතේ තම වගකීම නොපිරිහෙළා ඉටු කළ ඔහු මෙවර ආසියානු ක්රීඩා උළෙලේදී ශ්රී ලංකාව නියෝජනය කරමින් පිරිමි මීටර් 110 කඩුලු ඉසව්වට සහභාගී වූ රොෂාන් ධම්මික රණතුංග ය.
අද ජාත්යන්තර ක්රීඩා පිටියේ ශ්රී ලංකාව නියෝජනය කරන ක්රීඩකයකු ලෙස අවධානය දිනාගෙන සිටින ඔහුගේ ක්රීඩා දිවියේ ආරම්භය සනිටුහන් වන්නේ 2010 වසරේදීය. එවකට ගොඩකවෙල කුලරත්න මධ්ය මහා විද්යාලයේ අධ්යාපනය ලබමින් සිටි ඔහුගේ සිත ඇදී ගියේ උස පැනීමේ ඉසව්ව වෙතය. පාසලේ උස පැනීම සඳහා සකස් කර තිබූ මෙට්ටය දුටු ඔහුගේ පුංචි සිත තුළ ඒ මතට පැනීමේ ආසාවක් ඇති විය. එම ආසාව ඔස්සේ උස පැනීමේ ඉසව්ව තෝරාගත් ඔහු, කීර්ති නම් පුහුණුකරුගේ පුහුණුකාරිත්වය යටතේ මලල ක්රීඩාවට අවතීර්ණ විය. අනතුරුව ටිරෝන් ඉන්දික පුහුණුකරු යටතේ පාසල් ක්රීඩා පිටියෙන් ජාතික තලයට හැකියාව වර්ධනය කරගත් රොෂාන් සිය කැපවීමේත්, පුහුණුවේත් ඵල නෙළමින් 2014 සහ 2015 සමස්ත ලංකා පාසල් ක්රීඩා උළෙලවලදී කැපීපෙනෙන දස්කම් දක්වමින්, හොඳම පනින්නාට හිමි සම්මානය මෙන්ම හොඳම මලල ක්රීඩකයාට හිමි සම්මානය ද දිනා ගත්තේය.
ජයග්රහණ කරා වේගයෙන් පියනගමින් සිටි රොෂාන්ගේ ක්රීඩා දිවියට අභියෝග එල්ලවීමට වැඩි කලක් ගත නොවීය. 2016 වසරේ දියගම ක්රීඩාංගණයේ පැවැති පුහුණුවක් අතරතුර මීටර් දෙකක උසක් තරණය කළ රොෂාන්, මෙට්ටයෙන් පිටතට ඇද වැටීම හේතුවෙන් බරපතළ අනතුරකට මුහුණ දුන්නේය. දින දෙකක් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සිහිසුන්ව ප්රතිකාර ලැබූ නමුත් නොනැවතුණු ඔහු සුවය ලබා නැවත පිටියට පිවිසියේය. නමුත් අවාසනාව යළිත් රොෂාන් පසුපස පැමිණියේය. යළිත් වරක් ඇද වැටීමකට මුහුණදුන් රොෂාන්ගේ හිසට නැවතත් එවැනි දැඩි බලපෑමක් ඇතිවීම වළකාගතයුතු බව වෛද්ය උපදෙස විය. අකැමැත්තෙන් වුව උස පැනීමේ ඉසව්වට තිත තැබීමට ඔහුට සිදු විය.
උස පැනීමේ ඉසව්ව සමගින් තම ක්රීඩා දිවියේ එක් පරිච්ඡේදයක අවසානය සනිටුහන් කළ ද, එය ක්රීඩාවෙන් සමුගැනීමට හේතුවක් කරගන්නට ඔහු සූදානම් නොවීය. අභියෝග හමුවේ පසුබැසීම වෙනුවට නව මගක් සොයා යෑමට තීරණය කළ රොෂාන් 2017 වසරේදී මීටර් 110 කඩුලු ඉසව්ව සමගින් අලුත් පරිච්ඡේදයක් ඇරැඹීය.
නව ඉසව්වට සිය හැකියාව, ධෛර්යය කැටි කළ රොෂාන් 2017 වසර සමස්ත ලංකා පාසල් ක්රීඩා උළෙලේදී මීටර් 110 කඩුලු මතින් දිවීම ඉසව්වේ ප්රථම ස්ථානය දිනා ගත්තේ තුන් පිම්ම ඉසව්වෙන් දෙවැනි ස්ථානය ද සමගිනි. එම ජයග්රහණය ඔහු නව ඉසව්වට තැබූ පියවර කෙතරම් සාර්ථක ද යන්න මැනවින් පිළිබිඹු කළේය. එම ආරම්භයෙන් පසු 2018 වසරේ සිට මේ දක්වා අවස්ථා හතකදී මීටර් 110 කඩුලු ඉසව්වේ ජාතික ශූරයා බවට පත්වීමට ඔහු සමත් වූයේය. ඒ, එක් වරක් ජයග්රහණයක් අත්කර ගැනීම දක්ෂතාවක් විය හැකි නමුත්, වසර ගණනාවක් පුරා එම දක්ෂතාව පවත්වාගෙන යෑම සඳහා අවැසි කැපවීම, විනය සහ මානසික ශක්තිය ද තමන් සතුව නොඅඩු බව පෙන්වමිනි.
සරල පවුල් පසුබිමකින් පැමිණි රොෂාන්ගේ පියා ගොවිතැනෙහි නිරත වන්නෙකි. එවැනි පසුබිමක සිට සිය ක්රීඩා දිවිය ගොඩනගා ගැනීම සඳහා රොෂාන්ට විශාල කැපකිරීමක් කිරීමට සිදුවිය. එනමුත් ක්රීඩාවට පමණක් සීමා නොවූ ඔහු අධ්යාපනය ද ජයගත්තේය. ක්රීඩා පුහුණුවීම්, තරග සහ අධ්යාපන කටයුතු සමබරතාව පවත්වාගත් ඔහු සබරගමුව විශ්වවිද්යාලයේ උපාධිධාරියකි. මේ වන විට ශ්රී ලංකා යුද හමුදාව (ශ්රී ලංකා විදුලි හා යාන්ත්රික ඉන්ජිනේරු බළකාය) නියෝජනය කරන ඔහු සිය ක්රීඩා කටයුතු ඉදිරියට පවත්වාගෙන යන්නේ යුද හමුදාවෙන් ලැබෙන ශක්තියද උපයෝගී කරගනිමිනි.
ජාතික තලයේ සිය දක්ෂතා තහවුරු කළ රොෂාන්, ජාත්යන්තර ක්රීඩා පිටියේදී ද ශ්රී ලංකාව වෙනුවෙන් සුවිශේෂී දස්කම් දැක්වීමට සමත් විය. 2015 වසර ආසියානු යෞවන මලල ක්රීඩා තරගාවලියේදී උස පැනීමේ ඉසව්වෙන් රිදී පදක්කම දිනූ ඔහු සිය නව පරිච්ඡේදය ඇරැඹීමෙන් පසු 2019 දකුණු ආසියානු මලල ක්රීඩා ශූරතාවලියේදී, තායිලන්ත විවෘත මලල ක්රීඩා ශූරතාවලියේදී මෙන්ම මැලේසියානු විවෘත මලල ක්රීඩා ශූරතාවලියේදී ද කඩුලු ඉසව්වෙන් රිදී පදක්කම් දිනා ගත්තේය. වසර ගණනාවක් පුරා පවත්වාගෙන ආ එම දස්කම් 2025 වසර දකුණු ආසියානු මලල ක්රීඩා ශූරතාවලියේදී යළිත් තහවුරු වූයේ තවත් රිදී පදක්කමක් ඔහු සතුවීමෙන් පසුවය. එමෙන්ම, මෙම වසර පොදුරාජ්ය මණ්ඩලීය ක්රීඩා උළෙලේදී හත්වැනි ස්ථානය හිමිකර ගැනීම ද ඔහුගේ ජාත්යන්තර ක්රීඩා දිවියේ වැදගත් සන්ධිස්ථානයකි. මේ සියලු ජයග්රහණ දෙස බැලීමේදී පැහැදිලි වන්නේ පදක්කම්වලට එහා ගිය කැපවීමකි.
මීටර් 100 කඩුලු ඉසව්වෙන් ශ්රී ලංකා යුද හමුදා වාර්තාව, ආරක්ෂක හමුදා මලල ක්රීඩා ශූරතාවලි වාර්තාව මෙන්ම ජාතික මහා ක්රීඩා උළෙලේ වාර්තාව ද හොබවන රොෂාන්ගේ සියලු ජයග්රහණ පිටුපස සිටින යෝධ සෙවණැල්ල වන්නේ ඔහුගේ පුහුණුකරු ටිරෝන් ඉන්දික ගමගේය. එමෙන්ම ඔහු සිය පවුල සහ ජෙනරල් පාලිත ප්රනාන්දු ද ගෞරවයෙන් සිහි කරන්නේය. මෙම සුවිශේෂී ක්රීඩකයාගේ අවසාන ඉලක්කය, ශ්රී ලංකා ධජය නියෝජනය කරමින් ඔලිම්පික් තරගාවලියකට පිවිස තම උපරිමය ලොවක් ඉදිරියේ පෙන්වීමය.