"..හරි කැත විදිහට හැසිරෙනවා, සමහරු කියනවා අමිලට - - - ද කියලා. අයුතු යෝජනා ගේනවා, කළකිරීමක් තියෙන්නෙ..” - රංගන ශිල්පී අමිල අබේසේකරගේ බිරිඳ කියූ ඇත්තම කතාව..(PHOTOS)

Sri Lanka Gossip Today Sri Lankan Actor
By Sewvandhi Dec 17, 2022 04:05 PM GMT
Report

පුංචි තිරය විවිධ චරිතවලින් හැඩගැන්වූ අමිල අබේසේකර මේ දවස්වල ඉන්නේ විදෙස්ගත වෙලා. ඒ ගුවන් සේවිකාවක් වූ බිරිය තේජා එක්ක.

ඔහු සහ බිරිඳ තේජා සතිඅන්ත පුවත්පතක් සමඟ කළ කතාබහක් තමයි මේ..

අමිලව දැන් දකින්නම නැහැ, ලංකාවෙන් පිටට ගිය අමිල රංගනයටත් සමුදීල ද..?

තවම නම් රංගනයට සමුදීලා නැහැ . මේ දවස්වල මම ඉන්නේ ඩුබායිවල බිරිය තේජා එක්ක. අලුත් නාට්‍ය දෙකක් කරලා තියෙනවා. එකක් ළඟඳීම විකාශය වෙයි. දෙකම ලස්සන කතා දෙකක්. තව එකකට ආරාධනා ලැබුණා. නමුත් තවම ඒක මම භාර ගත්තේ නැහැ මෙහේ ඉන්න නිසා. ඇවිත් යන්න කරදරයි. ඉස්සර නම් ෂූටිං ඉවර වෙලා මෙහේ ඇවිත් දින කිහිපයක් ඉඳලා යනවා. දැන් එහෙම කැප කරන්න තරම් ලස්සන නිර්මාණ ලැබෙන්නේ නැහැ .

විවාහ වෙලා බොහෝ කාලයක් ඔබ දෙදෙනා දෙපැත්තක හිටිය නිසා ද දැන් පවුල් ජීවිතේට මුල්තැන දෙන්නේ..?

ඒක තමයි ඇත්තම කතාව. තේජා ගුවන් සේවිකාවක් විදිහට වැඩ කරන නිසාත් මගේ රංගන කටයුතු නිසාත් පවුල් ජීවිතේ හරියට විඳින්න බැරි වුණා. සමහර දවස් තිබ්බා එයා පාන්දර එද්දී මම පාන්දර ෂූටිං යන.

මම රෑට ගෙදර එද්දී එයා රෑට වැඩට ගිය. ඊට පස්සෙ තමයි එයා ඩුබායි එමිරේට්ස් එක්ක එකතු වෙන්නේ. එතකොට මගේ නිවාඩු කාලේ ගත කළේ ඩුබායිවල. සමහර දවස්වලට එයා ලංකාවට ආවා. ඒ නිසා නිතරම වයිෆ්ව දකින්න එයත් එක්ක ජීවිතේ බෙදා ගන්න මේ හොඳම කාලේ කියලා හිතුවා. ඉතින් දැන් වැඩිපුරම අපි දෙන්නා එකට ජීවත් වෙනවා. 

 ලොකු කැප කිරිමක් කරලා පිවිසුණු රංගන ජීවිතෙන් ඈත් වීම ගැන දුකක් නැද්ද ..?

මම රංගනයට ආවේ 99 අවුරුද්දේ . ඒ කාලේ අපිව එකපාරටම රඟපාන්න කැමරාව ඉස්සරහට යැව්වේ නැහැ . නාට්‍ය කරන ලොකේෂන්වලට එක්කගෙන ගිහිං ප්‍රවීණ රංගන ශිල්පීන් රඟපාන දිහා බලාගෙන ඉන්න ඕන. ඊට පස්සේ තමයි පොඩි පොඩි චරිත ලැබෙන්නේ.

අද කාලේ අයට වගේ එකපාරටම ප්‍රධාන චරිත ලැබුණේ නැහැ. මට ප්‍රධාන චරිතයක් ලැබුණේ අවුරුදු හතරකට පස්සේ. අද අය හරි වාසනාවන්තයි. මට කැපකිරිමක් කරන්න පුළුවන් හොඳ නිර්මාණ ලැබුණොත් මම රඟපායි. නමුත් දැන් අංක එක පවුල නිසා ඒ ගැන කිසිම දුකක් නැහැ

අමිල නාට්‍යයක් නිෂ්පාදනය කරපු කෙනෙක් , ඔබට ඇයි බැරි හොඳ නිර්මාණ නිෂ්පාදනය කරන්න ..?

අදහසක් තියෙනවා. හොඳ පිටපත් හොයමින් ඉන්නේ. නමුත් මම මුලින් කරපු නිෂ්පාදනය අත දිගඇරලා වියදම් කරලා එළියට දාපු නිර්මාණයක්. ලංකාවේ ආර්ථික ය එක්ක ලාභ ලබන්න බැහැ දැන්. නාට්‍යයට සම්බන්ධ වුණු හැමෝටම සියලු පහසුකම් දුන්නා. කිසිම අඩුපාඩුවක් නොකියන්න. ආයෙත් නිර්මාණයක් කරනවා නම් එහෙම කොලිටි එකට කරන්න ඕන. ඒ නිසා තව මාස හයක් විතර බලනවා ලංකාවේ තත්ත්වය වෙනස් වෙයි ද කියලා ,

තේජාගේ රැකියාව එක්ක කොහොමද අමිලට ඇයගෙන් ලැබෙන සහය..?

මගේ ගොඩක් නාට්‍ය එයා බලලා තියෙනවා පුළුවන් විදිහට . එහෙම බලලා එයා මට කියලා තියෙනවා ඔයා ඊට වඩා හොඳට කරන්න තිබ්බනේ කියලා, වෙනස් කරන්න තිබ්බ අවස්ථා ගැන කියනවා. කවදාවත් දොස් කියලා නැහැ මම කාර්යබහුල වෙද්දී , මම එයාගේ හැකියාවන් නතර කරලත් නැහැ. අපි දෙන්නා අවබෝධයෙන් ලස්සනට ජීවත් වෙනවා දෙන්නාට දෙන්නා උදව් කර ගනිමින්.

රංගනය පැත්තකින් තිබ්බේ ව්‍යාපාර කරන්න කියලත් ආරංචියක් තියෙනවා ..?

ලෝකේ බොහෝ රටවල්වල අපේ යාළුවෝ ඉන්නවා. එයාලගේ උදව්වෙන් ව්‍යාපාරයක් කරන්න ප්ලෑන් කරමින් යනවා. අනාගතේ ගැන හිතලා. බලමු අමිලගේ බිරියත් දැන් අමිල නිසාම කවුරුත් දන්න චරිතයක් බවට පත් වෙලා, ඒ නිසා නිතරම කතා කරන අමිලට වඩා වැඩිපුර ඇයත් එක්ක කතා කරන්න හිතුවා.

ගුවන් සේවිකාවක් විදිහට විශාල අත්දැකීමක් ඇති. ඇය මුලින්ම කතාවට මුල පිරුවේ මෙහෙමයි. මම අවුරුදු පහක් ශ්‍රී ලංකා එයාර් ලයින් එකේ වැඩ කළා. ඊට පස්සේ තමයි එමිරේට්ස් එන්නේ. මේ ආයතනය එක්ක එකතු වෙලා දැන් අවුරුදු 15ක් වෙනවා. ඔක්කොම ගත්තොත් දැන් මගේ සේවා කාලය අවුරුදු විස්සයි.

එපමණ කාලයක් ගුවන් සේවිකාවක් විදිහට රැඳිලා ඉන්න නම් ශරිර සෞඛ්‍ය සම්පන්නව ඉන්න ඕන වගේම රූපයත් වැදගත් ඇති..?

ඒ දෙකම වැදගත්. විශේෂයෙන්ම නිරෝගීකම වැදගත්. ලෙඩෙකුට ෆ්ලයි කරන්න බැහැ. ඒ වගේම ගුවන් සේවිකාවක් විදිහට අවුරුදු පනහ වෙනකල් වැඩ කරන්න පුළුවන් . 

 බොහෝදෙනෙක් විවාහය එක්ක ඒ රැකියාවට සමුදුන්නත් ඔබ තවම කැමති ගුවනේ සැරි සරන්න වගේ..?

විවාහයත් එක්ක බොහෝදෙනෙක් රැකියාවෙන් ඉවත් වෙනවා. එහෙම නැතිනම් ආයතනිකව වැඩ කරනවා. මට මගේ සුදුසුකම් එක්ක අවස්ථාවක් ලැබුණොත් මමත් සමහර විට ගුවන් සේවිකාවක් නොවි ආයතනිකව වැඩ කරනවා. අපිට ට්‍රේනිං පැත්තට වැඩ කරන්නත් පුළුවන්. බලමු ඉතිං ඉදිරියට මොකද වෙන්නේ කියලා. නමුත් මම ආසයි මේ රැකියාවට.

පෞද්ගලික ජීවිතේට හානියක් වෙනවා කියලා දැනිලා නැද්ද දෙන්නම එකම විදිහට කාර්යබහුල වෙද්දී ..?

අපි හානියක් කරගෙන නැහැ කිව්වොත් හරි. කොහොම හරි කාලේ හොයාගෙන අපි දෙන්නනම ජීවිතේ විඳිනවා.

ලෝකේ රටවල් බොහොමයකට යන්න පුළුවන් වීමත් වාසනාවක් ..?

ඔව්. හැම රටකටම ගිහිං තියෙනවා. ඒක වාසනාවක් තමයි. නමුත් මම ආසම ලංකාවට ෆ්ලයි කරන්න. ඒකේ අමුතුම හැඟීමක් තියෙන්නේ. ගෙදර දුවන්න, ආස කෑම බීම, සමීප වටපිටාව හා ආදරේ කරන මිනිස්සු ඉන්නේ මවු රටේ නිසා මම ලංකාවට ෆ්ලයි කරන්න තමයි ආස. ඒ වගේම මොරිසස් වගේ සොබා දහම වැඩිපුර දකින රටවල්වලට යන්න ආසයි.

පවුල කියන හැඟීම එක්ක අමිලගෙන් පවුල් ජීවිතේ ට ලැබෙන උදව් මොන වගේ ද ..?

පවුල් ජීවිතේ ගැන වැඩිපුර හිතන කෙනෙක්, උදේට ඇක්ටිව් නම් කම්මැලි නැතුව උයන එක වුණත් කරනවා. එයා කෑම හදන්නේ එයාගෙම රෙසිපි එකකට. කන්න පුළුවන් රසයි. මාව තේරුම් ගත්ත මටත් වඩා සෙන්සිටිව් කෙනෙක්. ඕනම දේකදී මට උදව් කරනවා.

රටවල් ගණනක සංචාරය කරලා තියෙන නිසා තේජාටත් රසට උයන්න පුළුවන් ඇති..?

පුළුවන්, උයන එකට වඩා උයලා ඒක ආකර්ෂණීය විදිහට පිළිගැන්වීමේ හැකියාවක් මට තියෙනවා. යාළුවෝ නම් මගේ කෑම රසයි කියනවා.

රැකියා ජීවිතේ එක්ක හිත ගොඩක් රිදුණු තැවුණු සිදුවීම් අනන්තවත් සිදු වෙලා ඇති..?

මගේ මවුපියන්ගේ වයසේ අම්මලා තාත්තලා ෆ්ලයි කරද්දී ලෙඩවෙද්දී දුක හිතිලා තියෙනවා. මගේ තාත්තා දැන් ජීවතුන් අතර නැති නිසා මට ඔහුව මතක් වෙනවා. ඒ වගේම ගෘහ සේවිකා වගේ රැකියාවලට යවන ඇතැම් අය වීසා ප්‍රශ්න නිසා නැවත ලංකාවට එද්දී ගුවනේදී ඔවුන්ගේ හැඟීම් දුක අපිට තේරේනවා.

සමහර අය අමාරුවෙන් සල්ලි හොයාගෙන රට යන අය ඉන්නේ. ඒ අයට රැකියාවවත් කර ගන්න බැරිව ආයේ එද්දී ෆ්ලයිට් එකේදී එයාලා අසරණ වෙලා ඉන්නවා දකිනකොට පුදුමාකාර දුකක් එන්නේ. අපි සමහර ගුවන් සේවිකාවන් පෞද්ගලිකව මුදල්වලින් පවා පුළුවන් විදිහට උදව් කරනවා. ඒවා තමයි මට නම් දරාගන්න බැරි හිත රිදෙන තැන්...

අමිලට ඔයාගේ හිත යන්නේ පාසල් කාලේ නේද ..?

අමිලව දැක්කම මොකක්දෝ හැඟීමක් ඇති වුණා. ඒක ආදරයක් කියන්න බැහැ. ටීවී එකෙන් දැක්ක රූපෙනේ. උසස් පෙළ කරලා ඉන්න කාලේ තමයි අමිලව යාළුවෙක් හරහා අඳුරා ගන්නේ. ඔයාට නම් එයාව ගැළපෙනවා කියලා යාළුවා විහිළු කළා. කොහොම හරි වැඩි දවසක් යන්න කලින් අපි පෙම්වතුන් වුණා 

 බයක් හිතුණේ නැද්ද අමිල වගේ ජනප්‍රිය තරුවක් එක්ක ප්‍රේම සම්බන්ධයක් පටන් අරගෙන පහු කාලේ දුකක් විඳින්න වුණොත් කියලා .?

එතකොට මට වයස අවුරුදු 18 වගේ. ඒ කාලේ ඕවා හිතන්න තරම් හිතක් තිබ්බේ නැහැ. හිත හරි සැහැල්ලුයි. විවාහ වුණාට පස්සෙත් බයක් හිතුණේ නැහැ. එයා රඟපෑ නාට්‍යයට මම කැමතියි. කැමරාව ළඟදි විතරයි එයා නළුවා. ආදරේ කරන කාලේ මගේ පෙම්වතා. විවාහ වුණාට පස්සේ සැමියා. ඒ නිසා බයක් එදත් දැනුණේ නැහැ අදත් නැහැ. ඒ වගේම කියන්න ඕන එයා එයාගේ පවුලේ අයට ආදරේ කරන විදිහට මගේ පවුලේ අයටත් ආදරෙයි, සලකනවා. ඒක තමයි මට වටිනම දේ.

අමිල කියන්නේ එකසේ ජනප්‍රිය නළුවෙක් , ඔහුට ලැබෙන ප්‍රතිචාරවලට ඔබේ ප්‍රතිචාර කොයි වගේ ද..?

එයාට ෆේස්බුක් එකවුන්ට් එක හැදුවෙත් මම . එයාට ගැහැනු ළමයි මැසෙජ් කරනවා. ෆොටෝස්වලට කමෙන්ට් කරනවා. ඒ හැමදේකටම ගොඩක් දුරට උත්තර ලියන්නේ මම තමයි . කරදර කරන කෙනෙක් හිටියොත් බ්ලොක් කරලා දානවා. එහෙම අනිසි විදිහට ප්‍රතිචාර දක්වන අය හරි අඩුයි. නළුවෙක් විදිහටනේ ආදරේ කරන්නේ. ඒ නිසා මට ඒක ප්‍රශ්නයක් වෙලා නැහැ. අමිල වගේම ඔබවත් සමාජ මාධ්‍ය ඔස්සේ ෆලෝ කරන අය බොහෝයි,

ගුවන් සේවිකාවක් කිව්ව සැණින් වැරදි මතවල ඉන්න පිරිමි පාර්ශ්ව ඉන්නවා, ඒ වගේ අයගෙන් තේජාට කරදර හිරිහැර ඇති..?

එක එක අසහන අය එක එක විදිහට මැසේජ් කරනවා. වෙන රටක එහෙම මැසෙජ් එකකින්වත් ගැහැනු කෙනෙකුට හිරිහැර කරන්න බැහැ. නීති තදයි. නමුත් අපේ රටේ ඉන්න ඇතැම් අය හරි කැත විදිහට හැසිරෙනවා, සමහරු කියනවා අමිලට දරුවෙක්වත් හදන්න බැරි ද කියලා. බලන්න බැරි තරම් කැත විදිහට කතා කරන අය ඉන්නවා. අයුතු යෝජනා ගේනවා. ඒවා දකිද්දී හරි කලකිරිමක් තියෙන්නේ. මොකද සංස්කෘතිය ගැන වැඩිපුර කතා කරන රටේ සංස්කෘතිය රකින්නේ නැති එක ගැන

ඇතැම් අය කියනවා ගුවන් සේවිකාවක් වීම තුළ හිරිහැර තාඩන පීඩනවලට ලක් වෙනවා කියලා ..?

මොන දේ කරත් කොහේ ගියත් අපි දෙන ප්‍රතිචාර එක්ක තමයි ඒක වෙනස් වෙන්නේ. මට කවුරු හරි ලස්සනයි කිව්වොත් මම ස්තූති කරලා ඒ කතාබහ සුහද විදිහට අවසන් කරනවා. අනවශ්‍ය විදිහට ඇලී ගැලීගෙන යන්නේ නැහැ. අනික නීති තද රටක් එක්ක ගනුදෙනු කරන්නේ. එක එක රටවල්වල සේවකයින් ඉන්නේ. එයාලා ගැහැනු අයට ගරු කරනවා. එයාලා සමාජයත් එක්ක ගැටෙන අය. එයාලට ගැහැනු කෙනෙක් එක්ක ආශ්‍රය පවත්වාගෙන යන්න පස්සෙන් පන්නන්නේ නැහැ.

සේවය තුළ උපරිම නිදහස තියෙනව. මුදල් ලැබෙනවා. ඒ නිදහස තුළ තමන් මොනාද කරන්නේ කියන එක තමන්ගේ අතේ තියෙන්නේ. කෙටියෙන් ම කිව්වොත් කිසිම පිරිමි කෙනෙක් අනෙකාගේ අකමැත්ත මත කිසි දෙයක් කරන්නේ නැහැ. අපි කැමති දේ අපිට කරන්න පුළුවන්, ඒක බල කිරීමකින් වෙන්නේ නැහැ කියලා නම් පැහැදිලිව කියන්න ඕන, මගේ සේවා කාලය තුළ මට නම් වචනයකින්වත් කිසි කෙනෙක් හිරිහැර කරලා නැහැ ,

ගුවන් සේවිකාවක් කියන්නේ ආර්ථිකය අතින් ශක්තිමත් රැකියාවක් කියන එකට තේජා දෙන උත්තරය මොකක්ද , කතාව අවසන් කරන්න කලින් ඒ ගැනත් කියමු..?

ඔව්. ලංකාව වගේ රටක ගැහැනු ළමයෙකුට හොඳ රැකියාවක් , මම කියන්නේ නැහැ ලොකු මුදලක් ලැබෙනවා සුපිරිම ජීවිතයක් ගත කරන්න පුළුවන් කියලා. නමුත් ජීවත් වෙන්න තමන්ගේ අවශ්‍යතා ඉටු කරගන්න පුළුවන් තරම් හොඳ වැටුපක් ලැබෙනවා. මම 2005 අවුරුද්දේ විවාහ ගිවිස ගත්තට විවාහ උත්සවයක් ගත්තේ 2010 අවුරුද්දේ,. මගේ ජීවිතේ ගොඩක් දේවල් මම අමිල එක්ක ගොඩනඟා ගත්තේ ඒ රැකියාව නිසා. ඒ නිසා මම වරදක් දකින්නේ නැහැ.

(හර්ෂණී වීරරත්න සිළුමිණ, රසඳුන අතිරේකයෙන්)


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery