යුද ගිනි මැද ඇමරිකාවෙන් චීනයට දුරකථන ඇමතුමක්..! හේතුව..?

America China War ukrain Russian
By Sewvandhi Mar 18, 2022 01:50 PM GMT
Sewvandhi

Sewvandhi

in එතෙර
Report

චීනය, රුසියාවට යුද හා මූල්‍ය ආධාර ලබාදීමට සූදානම් බවට අමෙරිකාවෙන් චෝදනා නැගෙද්දී අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර දුරකථන සංවාදයක් අද පැවැත්වීමට නියමිතව තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි. එහිදී යුක්‍රේන අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡාවට ගැනෙනු ඇති බව ධවල මන්දිරය නිවේදනය කර තිබුණි.

මෙම දුරකථන සංවාදය සම්බන්ධයෙන් මේ වනවිට ලෝක මාධ්‍යවල වැඩි අවධානයක් යොමුවී තිබේ. රුසියාව යුක්‍රේනය ආක්‍රමණය ආරම්භ කර අදට දින 23කි. කියුව්, කාර්කිව්, මරියුපෝල් ඇතුළු ප්‍රධාන නගර රැසක් තවදුරටත් රුසියාවේ දරුණු ප්‍රහාරවලට ලක්වෙමින් පවතී.

සිවිල් වැසියන් දහස් ගණනක් රැකවරණය ලබමින් සිටි මරියුපෝල් රඟහළට රුසියාව පසුගියදා එල්ල කළ බෝම්බ ප්‍රහාරය ලෝක ප්‍රජාව තුළ තවමත් ඇති කර තිබෙන්නේ දැඩි කම්පනයකි. රඟහලේ සුන්බුන් අතරින් පිරිස් මුදාගැනීම් තවමත් සිදුවෙමින් පවතින අතර ඉන් සිදුවූ මරණ ගණන මෙතෙක් ගණන් බලා නොමැත.

යුක්‍රේන බලධාරීන් පවසන්නේ, රුසියාව දෛනිකව මරියුපෝල් නගරයට පමණක් බෝම්බ 50ත් 100ත් අතර ගණනක් හෙලන බවය.  රුසියානු ආක්‍රමණය හේතුවෙන් මේ වනවිට යුක්‍රේනයේ ළමයින් 52ක් ඇතුළු සිවිල් වැසියන් 726 දෙනෙකු මියගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

එමෙන්ම පෝලන්ත දේශසීමාවට කිලෝමීටර් 43ක් තරම් සමීපයේ පිහිටි ලිවීව් නගරයට ද රුසියාව අද මිසයිල ප්‍රහාර 6ක් එල්ල කර තිබේ. නගර බලධාරීන් පවසන්නේ ප්‍රහාරයේ ප්‍රධාන ඉලක්කය ලිවීව් ගුවන්තොටුපොළ ගුවන්යානා නඩත්තු අංගණය විය හැකි බවය.

ඊයේ මෙන්ම අදත් කියුව් අගනුවර ඊසානදිග සහ වයඹදිග නාගරික කලාපවල දරුණු ගැටුම් ඇතිවී තිබේ. මේ අතර යුද්ධයේදී තුවාල ලැබූ කියුව් වැසියන්ගේ සුවදුක් විමසීමට යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි ඊයේ නගරයේ රෝහලකට ගොස් තිබුණි.   


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now