අජිත් නිවාඩ් කබ්රාල් ට වැටුණු අලුත්ම නඩුව...
2012 වසරේදී ග්‍රීක රජය විසින් නිකුත් කරන ලද භාණ්ඩාගාර බැඳුම්කර මිලදී ගෙන රජයට පාඩුවක් සිදුකිරීමේ චෝදනාවට හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු පුද්ගලයින් පස් දෙනෙකුට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් කොළඹ මහාධිකරණයේ නඩු පවරා තිබේ.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සූජිව සේනසිංහ මහතා විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අදාළව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සිදුකළ විමර්ශනවලින් අනතුරුව මෙම නඩු පැවරීම සිදුකර ඇත.
අදාළ පැමිණිල්ලේ සඳහන් වන්නේ, ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයට ලක්වී සිටියදී ඒ බව දැන දැනම එරට රජය විසින් නිකුත් කරන ලද භාණ්ඩාගාර බැඳුම්කර මිලදී ගැනීමෙන් රජයට රුපියල් 1,843 267,595ක පාඩුවක් සිදුකර ඇති බවටයි.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කළේ, එම පැමිණිල්ල සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලින් අනතුරුව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඇතුළු පුද්ගලයින් පස් දෙනෙකුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ නඩු පැවරීම සිදුකළ බවය.
