අග්බෝ ගේ අලුත්ම තත්ත්වය

Sri Lanka Elephant
By Sewvandhi Jul 30, 2023 04:55 PM GMT
Report

පශු වෛද්‍යවරු පවසන්නේ, බඳින තුවක්කුවකට හසුවී ප්‍රතිකාර ලබමින් සිටින අග්බෝ හස්තියා ක්‍රමයෙන් සුව අතට හැරෙමින් සිටින බවයි.

බඳින තුවක්කුවකට හසුවී ඇතාගේ ඉදිරිපස වම් පාදයට දැඩි ලෙස තුවාලව සිටියදී, විශාල ප්‍රමාණයේ දිගු දළ යුගලක් සහිත අඩි 10 ක් උසැති අග්බෝ හස්තියා අනුරාධපුර තිරප්පනේ රක්ෂිතයේදී වනජීවී නිලධාරීන් විසින් සොයාගනු ලැබුවේ.

එලෙස පසුගිය ජුනි මස 12 වැනිදා හමුවූ හස්තියා මේ වන විට මාසයකට වැඩි කාලයක් තිරප්පනය, සන්දනන්කුළම ප්‍රදේශයේ රජයේ රක්ෂිතය තුළ ප්‍රතිකාර ලබමින් සිටී.

ඒ දිවා රෑනොබලා ක්‍රියා කරන පශු වෛද්‍යවරු හා වනජීවී නිලධාරීන්ගේ රැකවරණය මැදය. ඇතාගේ අධීක්ෂණ කටයුතු භාර පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා පැවසුවේ අග්බෝ ක්‍රමයෙන් සුව අතට හැරෙමින් සිටින බවය.

නමුත් පාදයේ අස්ථි බිඳීමක් ඇති බැවින් සුව වීම කල් ගතවන බව ඔහු සඳහන් කළේය. මේ අතර ඊයේ පස්වරුවේ ඇතාගේ වත්මන් තත්ත්වය සොයා බැලීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා එම ස්ථානයට ගොස් තිබුණි.

මේ අතර ගෙවී ගිය වසර 10 තුළ, වාර්තා නොවූ සිදුවීම් ද සමඟ අවම තරමින් අලි ඇතුන් 6,000ක් පමණ ඝාතනයට ලක්ව ඇතැයි වනජීවී සංරක්ෂණ සංසදය පවසයි.

ඉතිරි අලි ඇතුන් රැකගැනීමට මෙන්ම අලි මිනිස් ගැටුම විසඳීමට ද කඩිනමින් නව වැඩපිළිවෙළක් ඇරඹිය යුතු බව එම සංසදයේ ලේකම් නයනක රන්වැල්ල මහතා අද මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කළේය.