ලොව පුරා සිටින අමෙරිකානුවන්ට ආරක්ෂක අනතුරු ඇඟවීමක්
මැද පෙරදිග කලාපයේ පවතින උණුසුම්කාරී ආරක්ෂක තත්ත්වය හේතුවෙන් ලොව පුරා සිටින අමෙරිකානු පුරවැසියන්ට දැඩි අවධානයෙන් සහ ප්‍රවේශමෙන් කටයුතු කරන ලෙස අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ගෝලීය ආරක්ෂක අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නවතම නිවේදනයක දැක්වෙන්නේ, මැද පෙරදිග පවතින සංකීර්ණ ආරක්ෂක තත්ත්වය හමුවේ අනපේක්ෂිත ලෙස ගැටුම් තවදුරටත් උග්‍ර වීමේ අවදානමක් පවතින බවයි.
මැද පෙරදිගට පරිබාහිර ප්‍රදේශවල පිහිටි අමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රික මධ්‍යස්ථාන ද ඉලක්ක කර ප්‍රහාර එල්ල වී ඇති බවත්, ඉරානය සහ එයට සහාය දක්වන සංවිධාන විසින් ලොව පුරා පිහිටි අමෙරිකානු ආයතන, ව්‍යාපාර සහ අමෙරිකානුවන් ගැවසෙන ස්ථාන ඉලක්ක කර ගැනීමේ අවදානමක් පවතින බවත් එම නිවේදනයේ සඳහන් වේ.
එමෙන්ම, මේ වනවිට මැද පෙරදිග කලාපයේ සිටින අමෙරිකානුවන්ට ගුවන් ගමන් අවලංගු වීම සහ ගමන් බාධා පිළිබඳ අවධානයෙන් සිටින ලෙස දැනුම් දී තිබේ.
මැද පෙරදිගින් පිටත සිටින අමෙරිකානු පුරවැසියන්ට ද එම කලාපය හරහා ගමන් කිරීම හෝ සංචාරය කිරීම සම්බන්ධයෙන් නැවත සලකා බලන ලෙස අමෙරිකානු රජය උපදෙස් ලබා දී ඇත.