ඉදිරි පැය 36 තුළ සිදුවන කාලගුණ විපර්යාසය ගැන විශේෂ නිවේදනයක්.

Department of Meteorology Weather
By Wayomi May 23, 2024 11:48 AM GMT
Report

ඉදිරි පැය 36 සඳහා බලපැවැත්වෙන පරිදි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ, අනුව නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරාත්තු වන අතර සබරගමුව පළාතෙත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 150ක පමණ ඉතා තද වැසි ඇති විය හැකි බවයි දැනුම් දෙන්නේ.

මෙහිදී බස්නාහිර සහ වයඹ පළාත්වලත් මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇති විය හැකියි.

දිවයිනේ සෙසු පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු මැද, බස්නාහිර, දකුණු සහ වයඹ පළාත්වලත් ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. (50-60) ක පමණ තද සුළං ඇතිවිය හැක. දිවයිනේ සෙසු ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක.

ඉදිරි පැය 24 ට දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය (2024 මැයි මස 23 දින මධ්‍යහන 12.00 ට නිකුත් කරන ලදි)

සුළඟ:

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දෙසින් හමා එයි. මන්නාරම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැ.කි.මී. (40-50) පමණ වන අතර සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (60-70) දක්වා වැඩි විය හැක. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල සුළං වේගය පැ.කි.මී. (30-40) පමණ වන අතර සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (50-60) දක්වා වැඩි විය හැක.

මුහුදේ ස්වභාවය:

කල්පිටිය සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු වේ. මෙම මුහුදු ප්‍රදේශයට නැවත දැනුම්දෙන තුරු යාත්‍රා නොකරන ලෙස නාවික සහ ධීවර ප්‍රජාවන්ට දැනුම්දෙනු ලැබේ.

මන්නාරම සිට කල්පිටිය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ. මේ පිළිබඳ සිය අවධානය යොමු කරන ලෙස ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.

කල්පිටිය සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් (2.5 – 3.0) ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතී. ( මෙය ගොඩබිමට එන රළ උස නොවේ ) ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.  


GalleryGalleryGallery