ඊයේ ලෝකයේ ප්‍රදේශ කිහිපයක් අඳුරු කළ දුර්ලභ සිදුවීම මෙන්න..රටවල් ගානකට අශුභයි..

United States of America Astrology NASA Solar Eclipse
By Aruna Apr 09, 2024 01:57 AM GMT
Report

සමහර විට පූර්ණ සූර්ය ග්‍රහණයක් කෙනකුට දැකගත හැකි වන්නේ ජීවිතයේ එක් වරක් පමණක් විය හැකියි.

එහෙයින් මෙම අසිරිමත් අභ්‍යවකාශ සංසිද්ධිය දැක ගැනීමට බොහෝදෙනා කැමැත්තක් දක්වන්නේ දැඩි ඕනෑකමිනි.

එහෙත් ජේ‍යාතිෂය තුළදී සූර්ය ග්‍රහණයක් හෝ චන්ද්‍ර ග්‍රහණයක් සිදුවන අවස්ථා අසුබ අවස්ථා ලෙස හදුන්වනු ලබයි.

එනම් ග්‍රහණයට සමීප දෙපස ඇති දින කිසිදු සුබ කටයුත්තක් සඳහා නොගැනීමත් විශේෂත්වයක්.

එසේම ග්‍රහණ සම්බන්ධයෙන් ජේ‍යාතිෂමය අනාවැකිද පළකරනු ලැබේ.

ජේ‍යාතිෂයට අනුව ග්‍රහණයක් පෙනෙන රටවලට ඒ හේතුවෙන් වන බලපෑම එම ග්‍රහණය නොපෙනෙන රටවලට වඩා වැඩි බවයි පැවසෙන්නේ.

ඊයේ සිදුවූ සූර්ය ග්‍රහණය හොඳින්ම දැක බලා ගත හැක්කේ කැනඩාව, ඇමරිකාව ආදී රටවලටය.

නාසා ආයතනය මෙම පූර්ණ සූර්ය ග්‍රහණය පෙනෙන රටවල සිතියමක් සකසා එය දැක බලා ගැනීමේ අත්දැකීම කැමැති අයට ලබාදීමට කටයුතු සලස්වා තිබූ බවයි පැවසෙන්නේ.

එසේම අන්තර්ජාලය හරහා ලොව නොයෙක් ස්ථානවලට සූර්ය ග්‍රහණය පෙනෙන ආකාරය අධ්‍යයනය කිරීම සඳහා නාසා වෙබ් අඩවියේ දිගුවක්ද සපයා තිබීමද විශේෂත්වයක්.

එය පහත පරිදිවේ.

go.nasa.gov/EclipseExplorer

සූර්ය ග්‍රහණය ලොවට පෙනීම ඇරඹුණේ දකුණු පැසිෆික් කලාපයට ඉහළිනි.

ගොඩබිම් ප්‍රදේශයක් ලෙස පළමුවරට දිස්වුනේ ඊයේ පෙ.ව. 11.07ට උතුරු ඇමරිකාවේ මෙක්සිකෝ පැසිෆික් වෙරළ තීරයට ඉහළිනි.

අනතුරුව ඇමරිකාව සහ කැනඩාවට පූර්ණ සූර්ය ග්‍රහණය දිස්වනු ඇති බවයි විද්‍යාඥයි පැවසුවේ.

කෙසේ නමුත් පූර්ණ සූර්ය ග්‍රහණය දිස්වන්නේ ලෝක සිතියමේ ඉතා පටු තීරයකට බවයි, නාසා සිතියම අනුව පෙනී යන්නේ.

එම පටු තීරය ඇමරිකාවේ ටෙක්සාස් සිට මේන් දක්වා විහිදිණි.

නමුත් ඇමරිකාවේ අනෙක් ප්‍රාන්ත 48ටම පාර්ශ්වික සූර්ය ග්‍රහණයක් ලෙස දිස්වුණා.

පූර්ණ සූර්ය ග්‍රහණය දිස්වෙන පටු තීරය මෙක්සිකෝවෙන් ඇරඹී ඇමරිකාවේ ටෙක්සාස් සිට ඔක්ලොහාමා, ආකන්සාස්, ඉලිනොයිස්, කෙන්චුකි, ඉන්ඩියානා, ඔහියෝ, පෙනිසිල්වීනියා, නිව්යෝර්ක්, වර්මොන්ට්, නිව් හැම්පෂර් සහ මේන් හරහා වැටී තිබිණ.

ටෙනෙසී සහ මිචිගන්හි සුළු ප්‍රදේශයකටද පූර්ණ සූර්ය ග්‍රහණය පෙනෙන බවයි නාසා ආයතනය කියා සිටියේ.

කැනඩාවට පූර්ණ සූර්ය ග්‍රහණය දිස්වීම ඇරඹුණේ, දකුණු ඔන්ටාරියෝ පෙදෙසිනි. අනතුරුව ක්වෙබෙක්, නිව් බ්‍රන්ස්වික්, ප්‍රින්ස් එඩ්වර්ඩ් අයිලන්ඩ් සහ කෙප්බ්‍රෙටන් ඔස්සේ ගමන් කරයි.

සූර්ය ග්‍රහණය නිමා වුනේ, උතුරු ඇමරිකාවෙන් සහ කැනඩාවේ නිව්ෆවුන්ඩ්ලන්ත අත්ලන්තික් වෙරළ තීරයෙන් ප.ව. 5.16ටයි.

මෙවර පූර්ණ සූර්ය ග්‍රහණය දැකීමට හොඳම ප්‍රදේශය ලෙස දක්වා තිබුණේ නිව්යෝර්ක් නගරයේ ප්ලැට්ස්බර්ග්ය. (Plattsburgh).

එම ප්‍රදේශය පූර්ණ සූර්ය ග්‍රහණය හේතුවෙන් විනාඩි 3යි තත්පර 33ක් සූර්යාලෝකය නොමැතිව අඳුරු වනු ඇති බවයි විද්‍යාඥයින් පැවසුවේ.

කැනඩාවේ ක්වෙබෙක්හි ෂර්බෘෘක් (Sherbrooke) විනාඩි 3 තත්ත්පර 25ක කාලයක් මෙම අත්දැකීම ලබයි.

පූර්ණ සූර්ය ග්‍රහණය පවතින දිගුම කාලය වන විනාඩි 4යි තත්පර 28ක අන්ධකාරය අත් විඳින්නේ මෙක්සිකෝවේ ටොර්රියොන් (Torreón) ප්‍රදේශයයි.

ශ්‍රී ලංකාවට මෙම පූර්ණ සූර්යග්‍රහණය පෙනුණේ නැහැ.

එම අවස්ථාවේදී අපට රාත්‍රි කාලය උදාව තිබූ අතැ හිරු අස්තව පැවතුනි.